මිත්‍යාවෙන් බැහැරව, නව්‍ය කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක පෙන්වාදීමක්

මිත්‍යාවෙන් බැහැරව, නව්‍ය කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක පෙන්වාදීමක්

ප්‍රශ්ණෝත්තර 17ක් හරහා කොරෝනා වයිරසය පිළිබඳව විද්‍යාත්මකව මනා පැහැදිළි කිරීමක් ආචාර්ය දිනාර ගුණසේකර මහතා විසින්

ලෝකයේ මහත් සේ කතාබහට ලක්වූ කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවටත් යම් බලපෑමක් එක්කර ඇති මේ අවදියේ වෛද්‍ය මාධවී ද සිල්වා විසින් ආචාර්‍ය දිනාර ගුණසේකර මහතා සමඟ කළ ඉතා වටිනා සම්මුඛ සාකච්චාවක් ඔබ වෙත ගෙන එන්නේ,. වයිරසයට වඩා වේගයෙන් ලංකාවේ ව්‍යාප්ත වන මිත්‍යා මත වලින් ඔබට ආරක්ෂා වීමට උපකාර වීමේ අරමුණින්.

ආචාර්ය දිනාර ගුණසේකර මහතා වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නව්‍ය ඖෂධ සොයාගැනීමේ සමාගමක (Novel Drug Discovery Company) ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් වශයෙන් සේවයේ නිරතව සිටිනවා. මෙම හැඳින්වීම සංෂිප්ත කර ඇති අතර එතුමා ගැන වැඩි විස්තර මුල් ලිපියේ සඳහන් වනවා.

1. ආචාර්යතුමනි, අපි කොරෝනා වයිරසය ගැන කතා කිරීම ආරම්භ කිරීමට ප්‍රථම, වයිරසයක් යනු කුමක්ද? මිනිසාට වයිරස අසාදනය වන්නේ කෙසේද සහ ඒවා සුව කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ගැන පොදුවේ හැඳින්වීමක් කර සිටිමු ද?

මුලින්ම වයිරසයක් යනු කුමක්දැයි දැන සිටීම කොරෝනා වසංගතය ගැන නිසි අයුරින් වටහා ගැනීමට විශාල රුකුළක් වනවා. වයිරසයක් යනු න්‍යෂ්ටික අම්ල (nucleic acid) හරයකින් (වයිරස ගෙනෝමය) සහ ප්‍රෝටීන කවරයකින් (viral capsid) සෑදුණු කුඩා අසාදිත අංශු ලෙස හැඳින් විය හැකියි.

සමහරක් වයිරස වලට ලිපිඩ ආවරණයක්ද (envelope) තිබිය හැකියි. බැක්ටීරියා සහ දිලීර වැනි අනෙකුත් ව්‍යාධිජනකයන් මෙන් සජීවී ජීවීන් ලෙස වයිරස නොසළකනු ලබන්නේ ඔවුන්ට තමා විසින්ම ප්‍රතිවලිතය (replicate) හෙවත් තම ගහනය වැඩි කර ගැනීම සිදු කළ නොහැකි නිසයි.

ප්‍රතිවලිතය කිරීමට නම් වයිරසය සජීවී සෛලයකට (ධාරක සෛලයකට) ඇතුළු වී එය අසාදනය කොට එහි සෛලීය ක්‍රියාවලියන් තමන් වෙත නතු කරගත යුතුයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නව වයිරස ජනනය වෙමින් තව තවත් සෛල ආසාදනයට ලක් කරමින් පැතිර යෑම තුළින් ධාරක සත්වයාට (host organism) හානි පැමිණවීමයි.

සත්වයන්ගේ සිට ශාක, ක්ෂුද්‍ර ජීවින් දක්වා ඕනෑම ජීව ප්‍රභේදයක් වයිරසයකට ආසාදනය කළ හැකියි. අඩංගු ජානමය ද්‍රව්‍යය අනුව වයිරස ප්‍රධාන කාණ්ඩ දෙකකට: RNA වයිරස සහ DNA වයිරස ලෙස වෙන් කළ හැකියි. මෙම කාණ්ඩයන්ට අයත් වයිරස විවිධ සාධක ඇති නැති බව මත තව දුරටත් විවිධ පවුල් යටතට වර්ග කිරීමට පුළුවන්.

මිනිසුන් විවිධ ආකාරයන්ගෙන් වයිරස මඟින් අසාදනයට ලක් විය හැකියි. ඉන්ෆ්ලුවෙන්සා සහ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව වැනි වයිරස වලට අපි ගොදුරු වන්නේ ආශ්වාසය තුළිනුයි.

කොලරා වැනි වයිරස වැළඳෙන්නේ අසාදිත ආහාර පාන පරිභෝජනය මඟිනුයි. ඩෙංගු යනු මදුරුවන් මඟින් බෝවන වයිරස යක් වන අතර එච්. අයි. වී. සහ ඉබෝලා වැනි වයිරස සම්ප්‍රේශණය වන්නේ ශරීර තරල හරහායි.

අපගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට ස්තූති වන්නට බොහොමයක් වයිරස ආසාදනයන් ස්වාභාවිකවම සුව වනවා. කෙසේ වෙතත් සමහර වයිරසයන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ප්‍රතිචාරයක් දැක්වීමට පෙර ඉතා සීඝ්‍රයෙන් ප්‍රතිවලිතය වීම ආරම්භ කරනවා.

මෙවැනි අවස්ථාවලදී ප්‍රති-වයිරස ඖෂධ වයිරසය ප්‍රතිවලිතය වීම පමා කොට, ශක්තිමත් ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් දැක්වීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට වයිරසය ඉවත් කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීමට සහය දක්වනවා.

එහෙත් වයිරස ආසාදනයන්ගෙන් වැළකීමට ඇති හොඳම මඟ නම් වයිරස අසාදනය වීමට පෙර එය වළක්වා ගැනීමයි. ඇතැම් රෝගකාරක වයිරස සඳහා මේ ආරක්ෂාව එන්නත් මඟින් ළඟා කරගත හැක.

2. නව්‍ය කොරෝනා වයිරසය යනු කුමක්ද? මින් පෙර විද්‍යාඥයින් මේ කොරෝනා වයිරසය ගැන දැන සිටියාද? අප දැනට දන්නා වයිරස වලින් කොරෝනා වයිරසය වෙනස් වෙනවාද?

2019 නව්‍ය කොරෝනා වයිරසය (2019 Novel Coronavirus: 2019-nCoV), යනු 2019 නොවැම්බර් අග භාගයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ප්‍රථම වරට මිනිස් රෝගීන්ගෙන් හඳුනාගත් නව කොරෝනා වයිරසයකි.

කොරෝනා වයිරසය යනු වැසුණු (enveloped) RNA වයිරස කාණ්ඩයට අයත්වන වයිරස පවුලකට අයත් සාමාජිකයෙක්. මෑත කාලීනව ඇති වුණු සාර්ස් (SARS) සහ මර්ස් (MERS) වසංගතයන් වලට හේතු වූ වයිරස යන්ද මෙම පවුලටම අයත් වනවා.

2019-nCoV වයිරසය මෙම කාණ්ඩයට අයත් වුවත්, එයටම සුවිශේෂී ගෙනෝමික අනුපිළිවලක් (genomic sequence) ඇති බැවින් රෝග සම්ප්‍රේෂණයේ, රෝග ලක්ෂණ වල, ශරීරයේ ක්‍රියාත්මක වන ආකාරයේ සහ දරුණු බවේ වෙනස්කම් තිබිය හැකියි.

මිත්‍යාවෙන් බැහැරව, නව්‍ය කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක පෙන්වාදීමක්

ඒ ඒ වයිරසවල බාහිර හැඩය දක්වන පරිගණක ආකෘති

3. මෙම නව්‍ය කොරෝනා වයිරසය පැතිර යෑමේ ආරම්භය සම්බන්ධයෙන් විවිධ මත පළවනවා. සමහරක් පවසනවා මෙය වූහාන් නගරයේ තිබෙන වයිරස සම්බන්ධ අධ්‍යයනය කරන විද්‍යාගාරයකින් කාන්දු වීමෙන් හට ගත බව, තවත් අය පවසනවා චීනයට එරෙහිව ඇමරිකාව විසින් නිපද වූ ජෛව අවියක් බව. මේවායේ ඇත්ත නැත්ත කුමක් ද? සැබවින්ම කොරෝනා වයිරසය පැතිර යෑම ආරම්භ වූයේ කෙසේද?

මෙය නව වයිරසයක්. චීනය විසින් මෙම වයිරසයේ ජානමය කේතය (genetic code) සහ රෝගීන්ගේ ජාන නියැඳි ජාත්‍යන්තර දත්ත ගබඩාවන්ට මුදා හැරියා.

විවිධ රෝගීන්ගෙන් ලබාගත් ජාන අනුපිළිවෙල වල වෙනස්කම් දකින්නට ලැබෙන්නේ ඉතා සුළු වශයෙන් නිසා මෙය නව වයිරසයක් ලෙස තවත් තහවුරු කළ හැකියි.

ලොව පිළිගත් විද්‍යාත්මක ජර්නලයක් වන නේචර් ජර්නලයට අනුව (nature journal) සාර්ස් ඇතුළු නව ව්‍යාධිජනක වයිරස අධ්‍යනය කිරීමට, චීනයේ වූහාන් ප්‍රදේශයේ ජෛව සුරක්ෂිතා මට්ටම 4 (biosafety level 4) වන විද්‍යාගාරයක් ආරම්භ කරනු ලැබුවා.

මෙම විද්‍යාගාරය සමඟ එකතුව ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාඥයින් පර්යේෂණ වල නිරත වනවා. එබැවින් මෙහි සුරක්ෂිත බව පිළිබඳ යම් ගැටළුවක් වූවා නම් මින් පෙර එය වාර්තා වී තිබිය යුතුයි.

මේ දක්වා මෙම විද්‍යාගාරයේ රාජකාරියේ නිරත වුණු කිසිම විද්‍යාඥයෙක් එවන් පැමිණිල්ලක් කර ඇති බව මට දැනගන්නට ලැබුණේ නැහැ. ඒ වගේම මෙය ජෛව අවියක් බවට තහවුරු කරන්නත් කිසිඳු සාක්ෂියක් හමුවන්නේ නැහැ.

මම දකින ආකාරයට නම්, ඇමරිකාවට යම් රටක් අඩ පණ කිරීමට අවශ්‍යයි නම් ජෛව අවි වැනි යල් පැන ගිය ක්‍රියාපටිපාටින් කිසි විටකත් භාවිතා කරන්නේ නැහැ. ඔවුන්ට කළ හැකි ලෙහෙසිම සහ පහසුම දෙය නම් සයිබර් ප්‍රහාරයක් එල්ල කිරීමයි.

තව දුරටත් සඳහන් කළොත් මෙම කොරෝනා පවුලේ වයිරස සම්බන්ධව විද්‍යාත්මක ප්‍රජාව මින් පෙරත් දැනුවත්ව සිටියා.

දැනට තිබෙන දත්ත වලට අනුව මෙහි ආරම්භක මූලාශ්‍රය ලෙස හඳුනාගෙන තිබෙන්නේ චීනයේ වූහාන් ප්‍රදේශයේ වවුලන් වැනි කුඩා ක්ෂීරපායින් සහ විරල ගණයේ වන සතුන් මාංශ සඳහා අළෙවි කරන ලද සජීව සත්ව වෙළඳපළකුයි.

බොහෝ දුරට මෙහිදී සත්ව අන්තර්-විශේෂ අතර මෙම වයිරසය හුවමාරු වී අවසානයේදී මිනිසාගෙන්-මිනිසාට සංක්‍රමණය වූවායි අපට සැළකිය හැකියි.

මිත්‍යාවෙන් බැහැරව, නව්‍ය කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක පෙන්වාදීමක්

කොරෝනා වයිරසයේ සම්ප්‍රේෂණ චක්‍රය

 

 

4. වර්ෂ 2002–2003 කාලයේදී පැතිර ගිය සාර්ස් (SARS) වයිරස වසංගතය සමඟ සසඳන කළ කොරෝනා වසංගතයේ තත්වය කෙලෙසද?

මම මින් පෙර සඳහන් කළ අයුරින් 2019-nCoV, MERS-CoV සහ SARS වයිරස එකම පවුලට අයත් වූවත් ඒවායේ ජානමය සංයුතීන් එකිනෙකට වෙනස් වනවා. එම නිසා මේවා වයිරස තුනක් ලෙසට අපට හඳුන්වන්නට පුළුවන්.

මෙම රෝගයන් දෙක සංසන්දනය කිරීමේදී වඩාත්ම වැදගත් වන පරාමිතයන් දෙක වන්නේ මරණ අනුපාතය (fatality rate) සහ මූලික ප්‍රජනන අංකය (basic reproduction number -Ro) යි.

මරණ අනුපාතය යනු රෝගය වැළඳී රෝග නිරණයෙන් පසු ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වූ සිය දෙනෙකුගෙන් මරණයට පත් වන සංඛ්‍යාවයි. මෙම කොරෝනා වයිරසයේ මරණ අනුපාතය 2–4% වනවා.

ඒ කියන්නේ රෝගය වැළඳෙන 100 දෙනෙකුගෙන් 2–4 අතර ප්‍රමාණයක් මිය යනවා. සාර්ස් රෝගයේ මරණ අනුපාතය 9.6% වුණු අතර විශාල සංඛ්‍යාවක් මරණයට පත් වුණා. ඉන්ෆ්ලුවන්සා උණ රෝගයේ මරණ අනුපාතයත් 4–8% අතර වෙනවා.

මෙම සංඛ්‍යා ලේඛන වලින් පෙන්නුම් කරන්නේ මෙය ඉන්ෆ්ලුවන්සා උණ රෝගය තරම් වත් භයානක නොමැති බවයි. කෙසේ වෙතත් සමහර වාර්තාවන්ට අනුව රෝගය වැළඳුනු රෝගීන්ගෙන් 15% කට ආසන්න පිරිසක් අසාධ්‍යභාවයට පත්වනවා.

එනම් රෝගය වැළදෙන පුද්ගලයන් 100කගෙන් 15 දෙනෙක් අසාධ්‍ය ලෙස රෝගාතුර වන බවයි.

Ro අගය යනු හුදකලා වූ පරිසරයකදී එක් ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයන් කීදෙනෙකුට රෝගය ආසාදනය විය හැකිද යන්නයි.

අපි හිතුමු යම් රෝගයක Ro අගය එකට වඩා අඩුයි කියා, එසේ වූ විට රෝගය පැතිර යෑම සෙමින් නැවතී යන්නේ එක් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙක්ට මෙම රෝගය සම්ප්‍රේෂණය කළ නොහැකි නිසයි.

එහෙත් මෙම අගය 1ට වඩා වැඩි වුවහොත් වයිරසය ස්වයං පැවතීමක සිටිය හැකියි. දැනට කොරෝනා වයිරස යේ Ro අගය 1.5–3 ත් අතර වනවා. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ මෙම අගය 1.3 කුත්, සාර්ස් වයිරසයේ Ro අගය 3 ක් වන අතර සරම්ප රෝගයේ මෙම අගය 15 ක් වනවා.

මෙමඟින් ඔබට පෙනී යනවා මෙම වයිරසය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට වඩා බෝ වීමේ හැකියාවක් පැවතුණද එය සාර්ස් වසංගතය තරම් බරපතල වන්නේ නැහැ.

එහෙත් මෙම ගණනයන් ඉතාමත් නිරවද්‍ය නොවන්නේ තවමත් කොරෝනා වයිරසය සම්බන්ධ නිවැරදි සංඛ්‍යා ලේඛන විද්‍යාඥයින් අතට ලැබී නොමැති නිසායි.

5. වසංගත රෝග ආකාර දෙකකට වර්ග කරනවා. ප්‍රදේශයකට සීමා වූ (endemic) සහ ලෝකය පුරාම ව්‍යාප්ත වූ (pandemic) ලෙස. මේ වන විට කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය අනුව එය වර්ග කර තිබෙන්නේ කෙසේද?

මෙය තවමත් පවතින්නේ ප්‍රදේශයකට සීමා වූ වසංගතයක් (endemic) ලෙසයි. එනම් සාමාන්‍යයෙන් අපේක්ෂා කරන රෝගීන්ට වඩා වාර්තා වන රෝගීන් ප්‍රමාණය පැතිර යෑමේ ක්ෂණික වැඩි වීමක් දක්නට ලැබීමයි.

අප බලාපොරොත්තු වනවා මෙය දිගටම මේ තත්වයේම පවතීවි යැයි කියා. ලෝකය පුරාම ව්‍යාප්ත වූ වසංගතයක් (pandemic) වන්නට නම් මෙය මිනිසුන් විශාල සංඛ්‍යාවකට අසාදනය වී රටවල් රැසකට හෝ මහද්වීප කිහිපයකට පැතිර ගොස් තිබිය යුතුයි.

කොරෝනා වයිරසය රටවල් කිහිපයකට පැතිර ගොස් තිබුනත්, ලෝකය පුරාම ව්‍යාප්ත වූ වසංගතයක් (pandemic) ලෙස සැළකීමට තරම් එය තවමත් ප්‍රමාණවත් නැහැ.

6. කොරෝනා වයිරසය ව්‍යාප්ත වන ආකාරය අපට පැහැදිලි කරොත්? එය බෝවන්නේ මිනිසාගෙන් මිනිසාට පමණයි ද? නැතිනම් ආසාදිත සත්වයින්ගෙන් ද? නැති නම් වාතය මඟිනුත් බෝවනවාද?

දැනට ලැබී ඇති දත්ත අනුව කොරෝනා වයිරස වර්ගයන් (strains) වවුලන්ගේ ශරීර තුළ හමු වනවා. වවුලන්ට මෙම වයිරසය අසාදනය වුවත් එයින් ඔවුන් රෝගාතුර වන්නේ නැහැ. වයිරසය ඔවුන්ගේ ශරීරයේ පවතිනවා පමණයි.

සාමාන්‍යයෙන් එය ක්ෂීරපායි සතෙක් වැනි අතරමැදි ධාරකයෙක් (intermediate host) වෙතට සම්ප්‍රේශණය වනවා. සාර්ස් වසංගතයේදී එය වවුලෙකුගේ සිට ක්ෂීරපායි සතෙකු වන උරුලෑවාට (Civet) සම්ප්‍රේෂණය වුණු අතර මර්සා වසංගතයේදී එය වුවලන්ගෙන් ඔටුවන්ට ද ඉන් මිනිසුන්ටද ව්‍යාප්ත වුණා.

එහෙත් කොරෝනා වසංගතයේදී අප තවමත් අතරමැදි ධාරකයා කවුරුන්දැයි තහවුරු කරගෙන නැහැ. සමහරුන් පවසන ආකාරයට සර්පයන් වවුලන් ආහාරයට ගන්නා නිසා එය සර්පයන්ගෙන් සම්ප්‍රේෂණය වූවා විය හැකියි.

මෙම තර්කයට විරුද්ධව මත පළ කරන විද්‍යාඥයින් පවසන්නේ සර්පයන් යනු චල තාපී (cold-blooded) විශේෂයක් බැවින් එලෙස සම්ප්‍රේෂණයක් සිදු විය නොහැකි බවයි. වයිරසය ආරම්භ වූවායි සැළකෙන වූහාන් ප්‍රදේශයේ සත්ව මාංශ වෙළඳපළ දැන් සම්පූර්ණ නිරෝධනයට යටත් කොට ඇති බැවින් මෙම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර අපට සොයා ගැනීමට නොහැකි වන්නටත් පුළුවන්.

අප විශ්වාස කරන පරිදි මේ දක්වා සත්ව-මිනිස් සම්ප්‍රේෂණය සිදු වී ඇත්තේ එක්වරක් පමණක් වන අතර දැනට ක්‍රියාත්මකව පවතින්නේ එක් ප්‍රධාන කොරෝනා වයිරස වර්ගයක් පමණක් බවත් එය අනෙක් අයට (මිනිසාගෙන් මිනිසාට) අසාදනය වන බවත් අප දන්නවා.

මෙම සම්ප්‍රේෂණය ළඟදී සිදුවූවක් හෝ එය නව වයිරසයක් විය යුතුයි.

චීනයෙන් ආනයනය කරන ලද සත්වයන් හෝ සත්ව නිෂ්පාදනයන් මඟින් මෙම 2019-nCoV වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවට නිගමනය කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තවමත් එක්සත් ජනපදයේ රෝග පාලනය සහ නිවාරණය සඳහා ඇති මධ්‍යස්ථානයන් (Centers for Disease Control and Prevention — CDC) සතුව නැහැ.

මේ අවස්ථාව වන විට මෙම රෝගය පැතිරෙන්නේ මිනිසාගෙන් මිනිසාට පමණයි.

මෙය අප මේ අවස්ථාව වන විට විශ්වාස මතය වන අතර නුදුරු අනාගතයේදී මෙය වෙනස් වීමේ හැකියාවත් පවතිනවා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මෙය වාතය මඟින් බෝවන (airborne) රෝගයක් නොවන වග.

මෙය බිඳිති ආසාදනයක් (droplet infection). ඒ නිසා වයිරසය වාතයේ පාවෙන්නේ නැහැ.

ආසාදිත පුද්ගලයෙක් අසළ සිට ඔබ ආශ්වාස කරන වාතයෙන් මෙම වයිරස ය ඔබට බෝ වන්නේ නැහැ.

මෙය අනෙකුත් කොරෝනා වයිරස බොහොමයක් වාගේ බිඳිති (droplet) මඟින් බෝවන වයිරසයක් වේ.

එබැවින් මෙම වයිරස ය සම්ප්‍රේෂණය වන්නේ කිවිසුම් හෝ කැස්ස මඟින් ඇතිවන ශ්වසන බිඳිති, අසාදිතයෙකුගේ ස්පර්ශයෙන්, ඇසට ඇතුළු වීමෙන් හෝ මුඛය හරහායි.

මෙම බිඳිති ඉතා ඉක්මනින් පොළවට පතිත වන බැවින් වාතය තුළ වැඩි වෙලාවක් රැඳී සිටින්නේ නැහැ.

මේ හේතුව නිසා තමයි මම විශ්වාස කරන්නේ කොරෝනා වයිරස ය ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා වාත පවිත්‍රතා (air purifiers) යන්ත්‍ර ඵලදායි නොවන බව. එහෙත් මෙම තත්වය අනාගතයේදී වෙනස් වීමට ඉඩ තිබෙනවා.

7. මෙම වයිරස යෙන් ආරක්ෂා වීම සඳහා අපට ගත හැකි පියවර මොනවාද? අප වෙනත් රටක සංචාරයක මේ කාලය තුළ නිරත වෙනවා නම් අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියා මාර්ග තිබෙනවාද?

මම අංක එකට නිර්දේශ කරන්නේ ඔබට හැකි හැම විටම දෑත් සබන් යොදා සේදීමයි. ඔබ ළඟ මද්‍යසාර සහිත දෑත් සනීපාරක්ෂක ද්‍රවයක් (hand sanitizer) තබාගෙන නිතර නිතර අත පිරිසිදු කරගත හැකි නම් ඉතා වටිනවා.

ඔබගේ දෑස් සහ මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටීමට උත්සහ කරන්න. මෙම වයිරස යට ඉරෙහිව සටන් කරන්නට ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් අවශ්‍ය බැවින් හොඳ සෞඛ්‍යමත් ජීවන රටාවක් ගත කරන්න.

එහෙත් මෙය සීඝ්‍රයෙන් පැතිර යෑමට පටන් ගතහොත් ඕනෑම ආකාරයේ සුදුසු මුඛවාඩමක් භාවිතා කිරීම තුළින් වයිරස ය ඔබේ ශරීරයට ඇතුල් වීම සැළකිය යුතු දුරකට වළක්වා ගත හැකියි.

මෙය බෝ වන්නේ බිඳිති හරහා බැවින් එම ආසාදිත බිඳිති වලට මුඛවාඩමක් හරහා ගමන් කළ නොහැකියි. ඔබට මුඛවාඩමක් සොයා ගත නොහැකි නම් ඔබ පාවිච්චි කරන ලේන්සුවෙන් හෝ සාරි පොටින් හෝ නාසය වසාගන්නට උත්සාහ කළ හැකියි (එයට පෙර ඔබගේ ලේන්සුවේ හෝ සාරි පොටේ එම බිඳිති නැති බව ඔබට සහතික විය යුතුයි).

කොරෝනා වයිරසය

එහෙත් මුඛ වාඩම පැළඳ සිටින ගමන් ආහාර ගැනීමට නම් කිසි විටකත් උත්සහ කරන්නට එපා. එය තවත් ප්‍රශ්න රැසකට මූලාරම්භය වීමට පුළුවන්. පොදු ස්ථාන වල සිටින විට ඔබේ නාසය සහ මුහුණ ආවරණය කරගැනීමට හැකි සෑම විටම උත්සහ දරන්න.

ඔබ වෙනත් රටක සංචාරය කරනවා වුවත් මෙම ක්‍රියාමාර්ග අනුගමනය කළ හැකියි. එහෙත් මම නිර්දේශ කරන්නේ හැකි තරම් විදේශ රටවල සංචාරය අවම කරන ලෙසයි.

ඉතාමත් හදිසි නැති සංචාර කල් දැමීම නුවණට හුරුයි. ඇමරිකානු විශේෂඥයින් මඟින් මෙහි පුරවැසියන්ට ලබා දී උපදෙස් වන්නේ මේවායි.

8. මේ වන විට කොරෝනා වයිරසය මැඬ පැවැත්වීම සඳහා ඖෂධ සොයාගෙන තිබෙනවාද? මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී අපට ප්‍රති-ජීවක ඖෂධ භාවිතා කළ නොහැකි වන්නේ ඇයි?

හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබ මම පිළිතුරු දීමට කැමතිම ප්‍රශ්නයි මගෙන් අසා සිටින්නේ. මෙය වයිරස ආසාදනයක්. මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට ප්‍රති-ජීවක ඖෂධ භාවිතා කිරීම කිසි ලෙසකත් සිදු නොකළ යුත්තක්.

ප්‍රති-ජීවක ඖෂධ භාවිතා කරන්නේ බැක්ටීරියා ආසාදනයක් මඟින් වැළඳෙන රෝග සුව කිරීම සඳහායි. රෝග තත්වය බරපතල වී එය නියුමෝනියාව දක්වා උඩු දිවූ අවස්ථාවක නම් ප්‍රති-ජීවක ඖෂධ භාවිතා කළ යුතු වනවා.

දැනට ඇති එකම ප්‍රතිකර්මය නම් වයිරස යට එහි ස්වභාවික චක්‍රය අනුගමනය කිරීමට ඉඩ සළසා රෝගියාගේ ශරීරය එයට එරෙහිව ප්‍රතිශක්තිය ගොඩ නඟාගන්නා තෙක් රෝගියා සමීපව නිරීක්ෂණය කිරීමයි.

මම මින් පෙර සඳහන් කළ ආකාරයට වයිරස සඳහා ඇත්තේ ප්‍රතිකාර වර්ග දෙකයි. පළමු වන්න එන්නත් සහ ප්‍රති-වයිරස ඖෂධයි. මගේ බිරිඳ ප්‍රතිශක්ති විද්‍යාඥවරියක් (immunologist). ඇය එම නිසා මේ සඳහා ප්‍රතිකාර ලෙස එන්නත් වඩා සුදුසු යැයි නිර්දේශ කරාවි.

එහෙත් මම නම් වැඩි විශ්වාසයක් තබා තිබෙන්නේ ඖෂධ කෙරෙහියි. මෙවැනි වසංගතයන්ට විසඳුම් සෙවීමේදී එන්නත් සහ ඖෂධ යන දෙවර්ගයම ඉතා වැදගත් බව වන මාගේ හැඟීමයි.

මේ වන විට මෙයට ප්‍රතිකාර ලෙස එන්නතක් වැඩි දියුණු කොට නැහැ. කෙසේ වෙතත් ඖෂධ සමාගම් රාශියක් මේ වයිරසය සඳහා එන්නතක් සොයාගැනීමට දැනටම පර්යේෂණ කටයුතු දියත් කොට අවසන්.

මගේ අනුමානය නම් මාසයක් දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ හොඳ එන්නත් අපේක්ෂකයෙක් (vaccine candidate) මතු විය හැකි බවයි.

එහෙත් එහි බලය සහ ධූලකබව සම්බන්ධ පර්යේෂණ පැවැත්වීමට, නෛතික බලපත්‍ර ලබාගැනීමට හා මහා පරිමාණ නිෂ්පාදනය ආරම්භ කිරීමට අවම වශයෙන් තවත් වසරක කාලයක් වත් ගතවනවා.

එම නිසා අවසාන එන්නත වෙළඳපොළට පැමිණීමට වසරකට අධික කාලයක් ගත විය හැකියි. එම නිසා වයිරස වසංගතයකට නම් සුදුසුම ප්‍රතිකර්මය වන්නේ ප්‍රති-වයිරස ඖෂධයි.

විද්‍යාඥයින් අවධානය යොමු කරන එක් දෙයක් නම් දැනට භාවිතයට ගන්නා ප්‍රති-වයිරස ඖෂධ කොරෝනා වයිරස යට ප්‍රතිකාර කිරීමට හැකිවන ලෙස ප්‍රති-අරමුණුගත (repurposing) කිරීමයි.

උදාහරණයක් ලෙස ඉබෝලා සහ මාබර්ග් වයිරස යට ප්‍රතිකාර කිරීමට නිපද වූ ප්‍රති-වයිරස ඖෂධය මෙය සඳහා යොදා ගැනීමට හැකියි.

තවද, පර්යේෂණ මට්ටමේ පවතින සමහරක් ප්‍රති-වයිරස ඖෂධ පරීක්ෂණ පැවැත් වීමෙන් පසු වෙළඳපළට ළඟදීම පැමිණීමටත් ඉඩකඩ තිබෙනවා.

9. අප මාධ්‍ය ඔස්සේ දැක්කා කොරෝනා වයිරස ය වැළදුණු සමහර පුද්ගලයන් මිය ගියත් ඊට වඩා විශාල ප්‍රමාණයක් දැන් සුව වී ඇති බව. මෙම රෝගීන් සුව කිරීමට ගෙන ඇත්තේ කුමන පියවරක් ද? සහ එමඟින් ඇති වූ මරණ වලට හේතුව සම්බන්ධයෙන් ඔබට අදහසක් දැක්විය හැකිද?

මෙම රෝගය වැළඳී ඇති නිශ්චිත ප්‍රමාණය සම්බන්ධයෙන් අපට තවමත් නිසි සංඛ්‍යා ලේඛනයක් නැහැ.

එයට හේතුව වන්නේ රෝගය වැළඳී ඇති සියළු දෙනාම රෝහල් වෙත නොයෑමයි. සමහරවිටක අඩු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන්ගේ රෝගය, ශරීර ප්‍රතිශක්තිය මඟින් ස්වාභාවිකවම සුව කරනු ලබනවා.

මම සිතන විදිහට රෝහලක් මඟින් එක එල්ලේම ලබා දිය හැකි බෙහෙතක් හෝ ප්‍රතිකර්මයක් මෙයට නැහැ. ඔවුන්ට කළ හැක්කේ රෝගය පාලනය කළ හැකි ලෙස රෝගියා බලා ගැනීම පමණයි.

රෝගියාගේ ශරීරය මඟින් වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිපද විය යුතුයි. දැනට රෝග නිර්ණය කළ රෝගීන්ගෙන් වාර්තා වන මරණ අනුපාතය 2–4% අතර වනවා.

රෝගය අසාදිත වූ සියල්ලන් දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් කොරෝනා වයිරසය යැයි හඳුනානොගත් රෝගීන් සිටිය හැකි නිසා මෙම මරණ අනුපාතය තවත් අඩු වීමට හැකියාවක් පවතිනවා.

10. යම් කිසි පුද්ගලයෙක්ට උණ රෝගය වැළඳී තිබුණොත් එය කොරෝනා වයිරසය නිසා ඇති වූවක් බවට වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරගන්නේ කෙසේද?

වයිරසය නිසැකවම වැළඳී ඇත්ද නැත්ද යන්න සොයා ගැනීමට විද්‍යාඥයින් විසින් PCR (පොලිමරේස් දාම ප්‍රතික්‍රියා — Polymerase Chain Reaction) පරීක්ෂණය සිදු කරනු ලබනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ නම් මෙම පරීක්ෂණය සිදු කරන්නේ රෝග පාලනය සහ වළක්වා ගැනීමේ මධ්‍යස්ථාන වන CDC (Centers for Disease Control and Prevention) වල පමණයි.

උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා මෙහි රෝග ලක්ෂණ වලට ඇතුළත්. කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවේ (common cold and flu) ලක්ෂණ වලට සමාන කමක් දක්වනවා.

එහෙත් මේ රෝග ලක්ෂණ දුටු පමණින් ඔබ බියට පත් විය යුතු නැහැ. ඔබ සොයා බැලිය යුත්තේ මෑතකදී චීනයේ සිට පැමිණි පුද්ගලයෙක් සමඟ ඔබ සබඳතාවයක් හෝ මුණ ගැසීමක් සිදු කර තිබෙනවාද යන්නයි.

එය එසේ නොවේ නම් බොහෝ විට ඔබට වැළඳී ඇත්තේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණක් වීමට ඇති ඉඩකඩ බොහෝයි.

11. අප දකිනවා අප රට තුල කොරෝනා වයිරස ය සම්බන්ධ අනියත බියක් තිබෙනවා. ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ මේ සම්බන්ධ තත්වය කුමක්ද? ඇමරිකානු රජය ප්‍රකාශ කරන්නේ කුමක් ද?

මෙහිත් බලධාරීන් මෙම වසංගතය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු වනවා. සාර්ස් වයිරස ය පැතිරීම ක්‍රමයෙන් අඩු වී ගිය අයුරින් කොරෝනා වයිරසයත් නැතිව යාවි යැයි ඔවුන් බලාපොරොත්තු වනවා.

එහෙත් ඔවුන් සිදු විය හැකි දරුණුතම අවස්ථාවට මුහුණ දීම සඳහා හොඳ සූදානමකින් පසු වනවා. මහජනතාව මෙම වසංගතය සම්බන්ධව එතරම් සැළකිල්ලක් දක්වන්නේ නැහැ.

ඔවුන් ඊට වඩා උනන්දුවක් දක්වන්නේ ජනාධිපතිට එරෙහි දෝෂාභියෝගය සහ සුපර්බෝල් ක්‍රීඩා තරඟයන් පිළිබඳවයි. කෙසේ වෙතත් මෙම වයිරස යට එරෙහිව සටන් කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රජාව ක්‍රියාකාරීව ඉදිරිපත්ව සිටිනවා.

විශේෂයෙන්ම පර්යේෂණ සමාගම් රැසක් මේ රෝගයට එන්නත් නිපද වීම සඳහා පෙරමුණට පැමිණ තිබෙනවා. මට එක දෙයක් කිව හැකියි. මම දන්නවා බොහෝ ශ්‍රී ලාංකිකයන් ඇමරිකාවට සහ එහි ප්‍රතිපත්ති වලට කැමැත්තක් දක්වන්නේ නැහැ.

එහෙත් මුළු ලෝකයේම භාවිතා වන බොහෝ එන්නත් සහ ඖෂධ නිපදවා තිබෙන්නේ ඇමරිකාව විසිනුයි.

එමඟින් පෙන්නුම් කරන්නේ අප දැන් හුදකලාවූ සමාජයක් නොව ගෝලීය සමාජයක කොටස් කරුවන් බවයි.

12. පසුගිය 31 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස නම් කිරීම සිදු කළා. ඔවුන් කඩිනමින් එලෙස ප්‍රකාශ කිරීමට හේතුව කුමක්ද?

මෙය හොඳ ප්‍රශ්නයක්. ඔව්, ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය 31වෙනිදා මෙම වසංගතය අන්තර්ජාතිකව සැළකිය යුතු හදිසි මහජන සෞඛ්‍ය තත්වයක් (Public Health Emergency of International Concern — PHEIC) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

මම සිතන අයුරින් නම් එලෙස ප්‍රකාශ කිරීමට තවම කල් වැඩියි. වාර්තාවන්ට අනුව මෙම වයිරසය චීනයෙන් පිට දැනට පැතිරී ඇත්තේ ඉතා සීමා සහිත රටවල් ගණනක පමණයි.

එම නිසා චීනය හැරුණුකොට අනෙකුත් රටවල් වල සාමාන්‍ය ජන ජීවිතය අඩාල කිරීමටවත් අනවශ්‍ය ලෙස ජනයා කලබලයට පත් කිරීමත් අවශ්‍ය වන්නේ නැහැ.

පසුගිය 30 වෙනිදා වන විට ජපානය, ජර්මනිය, වියට්නාමය ඇතුළු අනෙකුත් රටවලද වයිරසය මිනිසාගෙන් මිනිසාට සීමා සහිතව පැතිර යෑම වාර්තා වීම වයිරස ය චීනයෙන් පිට පුළුල් ලෙස ව්‍යාප්ත වීමට ආරම්භ වීමේ අවදානම් සළකුණු පෙන්නුම් කරා.

මෙයට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය PHEIC තත්වයක් ප්‍රකාශයට පත් කළේ H1N1, සූකර උණ, 2014 වර්ෂයේ පෝලියෝ වසංගතය සහ 2016 වර්ෂයේ ඉබෝලා සහ සිකා වසංගත තත්වයන් වළදීයි.

මගේ මතය අනුව තවමත් චීනයෙන් පිට රෝග ව්‍යාප්තිය සීමා සහිත නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයට PHEIC තත්වයක් ප්‍රකාශයට පත් කිරීම තවත් මඳකට පමා කිරීමට තිබුණා.

එම සංවිධානය 2019 වසරේ ඉබෝලා වසංගතයටද PHEIC තත්වයක් ප්‍රකාශ කළ අතර එලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීම පමා කළා යැයි ඔවුන්ට චෝදනා එල්ල වුණා. එම නිසා මෙවර ඔවුන් එම තීරණය කල් ඇතුව ගත්තා විය හැකියි.

13. කොරෝනා වයිරසය ආසාදිතයන් ගුවන් තොටුපළ වලදී හඳුනා ගැනීම සඳහා ගන්නා පියවර මොනවාද? එම ක්‍රමවේද කොතෙක් දුරට සාර්ථකද?

ගුවන්තොටුපොළේදී ආසාදිතයන් එක්වරම නිවැරදිව හඳුනාගැනීමට කිසිම ක්‍රමයක් තවමත් නැහැ.

එහෙත් මට විශ්වාසයි ඉක්මන් රෝග නිර්ණය කළ හැකි රෝග විනිශ්චය කට්ටල නුදුරේදීම බිහි වන වග. මම දන්නවා විශ්වාසී සහ ඉක්මන් PCR මත පදනම් වුනු පර්යේෂණ කට්ටලයක් සමාගමක් මඟින් දියුණු කරමින් පවතිනවා කියා.

ඇමරිකා එක්සත් ජනපදයේ නම් ගමන් තහනම් සහ වසංගතය පැතිරුණ ප්‍රදේශ වල සිට පැමිණෙන පුද්ගලයන් සඳහා දැඩි නිරෝධන ක්‍රියාවලියන් අනුගමනය කරනවා.

ගුවන් මඟීන් තාප පිරික්සීමකට (thermal screening) ලක් කිරීමෙන් පසු යම් අයෙකුට දැඩි උණ වැළඳී තිබෙනවා නම් ඔවුන් නිසි පර්යේෂණ සඳහා යොමු කරනු ලබනවා.

එහෙත් මගේ මිත්‍රයෙක් පැවසූයේ මිනිසුන් ඔවුන් අධික උණෙන් පෙළෙන බව අනාවරණයවීම වැළක්වීමට තෙත බැලන්කට්ටුවකින් තමන්ව ආවරණය කරගැනීමට පෙළඹ ඇති බවයි.

මම හිතන්නේ අපගේ ගුවන්තොටුපළ බලධාරීනුත් මෙය පිළිබඳ දැනුවත් වී එවන් අවස්ථා වැළක්වීමට කටයුතු කළ යුතුයි.

14. අප දැක්කා චීනයේ වූහාන් වල සිට ශ්‍රී ලංකාවට ගෙන්වූ සිසුන් දින 14ක් නිරෝධනය (quarantine) කරනවා. මෙසේ සිදු කිරීමේ අවශ්‍යතාවය කුමක් ද? මේ අවස්ථාව වන විට චීනය ඇතුළු අනෙකුත් රාජ්‍යයන් කුමන නිරෝධන ක්‍රියාපටිපාටි වල නිරතව සිටිනවාද?

රෝගය අප රට තුළත් පැතිරීම වැළක්වීමට එය එසේ කළ යුතුමයි. මෙය ශ්‍රී ලංකා රජය මඟින් ගත් ඉතා හොඳ පියවරක්. චීනයේ සිට පැමිණෙන ඕනෑම අයෙක් මෙසේ නිරෝධනය කිරීමට රජය පියවර ගත යුතුයි.

ඇමරිකා එක්සත් ජනපදයේ නම් චීනයේ සිට පැමිණෙන ඕනෑම අයෙක් දින 14ක නිරෝධන කාලයකට යටත් කරනවා. අප රට තුළ දැනට පවතින්නේ එක් ක්‍රියාකාරී ගුවන්තොටුපොළක් පමණක් නිසා රජයට මෙම ප්‍රශ්නය ඉතා ලෙහෙසියෙන් හැසිරිය හැකියි.

චීනයේ මෙම තත්වය ඉතා බරපතල අතට හැරී තිබෙනවා. හුබෙයි (Hubei) පළාත සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.

එහෙත් එහි ප්‍රතිඵලය ඉතා ඍණාත්මක එකක් වූවා. රජය මඟින් එම පළාත වසා දමන බවට නිවේදනය කළ සැණින් මිනිසුන් ඉතා ඉක්මනින් නගර වලින් ඉවත් වන්නට ගත්තා. එය හරියට වයිරස මැෂින් තුවක්කුවකින් වයිරසය එම පළාතින් එපිටටත් පැතිරුවා හා සමාන වූවා.

මම හිතනවා නගරයක් වසා දැමීමෙන් ඔවුන් ගත්තේ වැරදි ක්‍රියාමාර්ගයක් බව. එමඟින් සිදු වූයේ ජනතාව කලබලයට පත් වී අසාදිත පුද්ගලයන් නගරය හැර ගොස් වෙනත් නගර වලටත් ව්‍යාප්ත වීමයි.

15. මේ දින වල තවත් සුලභ දෙයක් තමයි විවිධ පුද්ගලයින් කොරෝනා වයිරසයට විවිධ ප්‍රතිකර්ම සොයාගත්තා යැයි පැවසීම. මෙවැනි සොයාගැනීම් වල විද්‍යාත්මක පසුබිම සහ සත්‍ය අසත්‍යතාවය කවරේද?

අප දන්නවා අප රට තුළ දේශීය නව නිපැයුම් කරුවෙක් නිර්මාණයක් සිදු කළහොත් හෝ නැනෝ තාක්ෂණය යන වචනය යොදාගත හොත් ඉතාමත් උනන්දුවෙන් ඒ දේ ගැන කතා කිරීමට මිනිසුන් පෙළඹෙනවා.

එහෙත් අප බුද්ධියෙන් අවංකවම සිතා බැලිය යුතු කරුණ වන්නේ මෙය සැබෑ නවෝත්පාදනයක් ද එසේත් නැතිනම් සමාජ මාධ්‍ය ජාල තුළ ජනප්‍රියත්වයක් ලබාගැනීම උදෙසා සිදු කරන ප්‍රයෝගයක්ද යන්නයි.

මම පෙර සඳහන් කළ අයුරිනුත් එක්සත් ජනපදයේ කීර්තිමත් පර්යේෂණ කණ්ඩායම් වලට පවා වාණිජ ප්‍රති-වයිරස ඖෂධයක් නිපද වීම ඉතාමත් අසීරු කර්තව්‍යයක්. එය විශාල විද්‍යාඥයන් පිරිසකගේ බුද්ධිය සහ දැඩි කැපවීමක් අවශ්‍ය වන ඉතා භාරදූර කාර්යයක්.

යමෙක් කොරෝනා වයිරස ය සඳහා ඖෂධයක් නිපදවූවායි මෙතරම් ඉක්මනින් පැවසීම ඇත්තටම හාස්‍යජනක කරුණක්.

16. දැනට ලෝකයේ විද්‍යාඥයින් කොරෝනා වයිරස යේ අනාගතය ගැන පළ කරන අදහස් කුමන ආකාරයි ද?

PCR පරීක්ෂණය ආදී නවීන තාක්ෂණික සම්පත්වල සීමා සහිත සහ හිඟ බව නිසා අසාදිත පුද්ගලයන්ගේ රෝග නිර්ණය කළ නොහැකි වූ බවට වාර්තා රැසක් තිබෙනවා.

එම නිසා මෙය ඉතා ඉක්මනින් නිම වේවි යැයි ප්‍රකාශ කිරීමට අපහසුයි. සමහර විද්‍යාඥයින් තව මාස කිහිපයකින් ලෝකයම චීනයේ තත්වයට පත්විය හැකි බව පවසද්දී තවත් විද්‍යාඥයින් පිරිසක් මෙය ඉතා ඉක්මනින්ම අවසානය කරා ළඟා වේවි යැයි මත පළ කරනවා.

අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ජාතික විද්‍යාතනයේ (National Institute of Allergy and Infectious Diseases -NIAID) ප්‍රධානී සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති උපදේශකයෙකු වන වෛද්‍ය ඇන්තනි එස්. ෆවුසි (Anthony S. Fauci) ප්‍රකාශ කර සිටින්නේ ඉදිරි සති කිහිපය තුළ වයිරස ය තව දුරටත් පැතිර යතැයි හෝ අවසාන විය හැකි යැයි ඔවුන්ට දැන්මම අනාවැකි පළ කළ නොහැකි බවයි.

මට මේ සම්බන්ධව කිව හැකි දේ නම් ඉදිරි සති කිහිපය තුළ සිදු විය හැකි දෙය පිළිබඳව බුද්ධිමත් අනුමානයක් කිරීමට තරම් ප්‍රමාණවත් තොරතුරු තවමත් අප සතුව නොමැති බවයි.

 

මිත්‍යාවෙන් බැහැරව, නව්‍ය කොරෝනා වයිරසය ගැන විද්‍යාත්මක පෙන්වාදීමක්

17. අවසාන වශයෙන් ඔබට අප පාඨකයින්ට ප්‍රකාශ කිරීමට ඇත්තේ කුමක් ද?

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඔබ බිය විය යුතු ද? නැත. මෙය බරපතල තත්වයක් ද? ඔව්. ශ්‍රී ලංකාවට මෙමඟින් ඇති අවදානම ඉතා අඩුයි. එහෙත් රාජ්‍යයක් වශයෙන් අප මෙයට මුහුණ දීමට සුදානම්ව සිටිය යුතුයි.

තත්වය නරක අතට හැරුණොත් සමාජ ගැවසීම් සහ ගමනාගමනයන් සීමා කළ යුතුයි. කොරෝනා වයිරසය වැළඳී ඇතැයි පුද්ගලයෙකු රෝග නිර්ණය කළ හොත්, එම පුද්ගලයා සබඳතා පැවැත්වූ සියළු දෙනාව ක්‍රියාකාරීව සොයා බලා නිරීක්ෂණය කළ යුතුයි.

මෙය contact tracing එසේත් නැතිනම් ස්පර්ශන ගවේෂණය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අවසාන වශයෙන් ඉතාමත් හොඳ බුද්ධිමත් ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විදුසරට බෙහෙවින් ස්තුතිවන්ත වනවා.

මම දැක තිබෙනවා මේ වන විට බොහෝ මාධ්‍ය විද්‍යාත්මක පදනමක් නැති අසත්‍ය පුවත් සඳහා මුල් තැනක් ලබා දී තිබෙනවා.

එවන් අවස්ථාවකදී කොරෝනා වයිරස ය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු ජනතාවට ගෙන ඒමට ඔබ පුවත්පත ඉදිරියට පැමිණීම ඉතාමත් ප්‍රසංශනීයයි.

මෙම දීර්ඝ සාකච්ඡාව තුළින් කොරෝනා වයිරස ය පිළිබඳ නිසි විද්‍යාත්මක වැටහීමක් පාඨක ඔබට ලැබෙන්නට ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

සෑම විටම මෙවන් වසංගත හෝ ආපදාකාරී තත්වයන් වලදී වගකීමෙන් කටයුතු කරන ජාතික මාධ්‍යයන් වල පළවන නිවැරදි විද්‍යාත්මක තොරතුරු පමණක් පිළිගන්නා ලෙසට පාඨක ඔබගෙන් ඉල්ලා සිටීමට අප කැමතියි.

මිත්‍යාවෙන් විද්‍යාව වැසීමට ඉඩ දුන්හොත් එහි ප්‍රතිඵල ඉතා භයානක විය හැකියි. එම නිසා සැමවිටම ඔබ කන වැකෙන තොරතුරු නිරවද්‍ය ඒවාදැයි බුද්ධියෙන් විමසා එම ක්ෂත්‍රයේ විශේෂඥයින් දක්වන අදහස් හා සැසඳෙනවාදැයි සොයා බලන්න.

කොරෝනා වසංගතය ඉතා ඉක්මනින් පාලනය වී ලෝකයෙන් තුරන් වී යනවා දැකීම ඔබගේ මෙන්ම අපගේද ප්‍රාර්ථනයයි.

සැ.යු.: කොරෝනා වයිරසය සම්බන්ධ දත්ත සහ තොරතුරු නිරතරුව යාවත්කාලීන වන අතර මෙම ලිපියේ රචකයා ආචාර්ය දිනාර ගුණසේකර මහතා සමඟ මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්වූයේ පෙබරවාරි පළමු වැනිදා වන බැවින් මේ ලිපිය ප්‍රකාශනයට පත්වන පෙබරවාරි පස්වන දින වන විට ඇතැම් දත්ත සහ තොරතුරු වෙනස් වීමට ඉඩ කඩ ඇති බව කරුණාවෙන් සළකන්න.

~ මාධවී ද සිල්වා ~

මුල් ලිපිය: medium.com

සංස්කරණය: නිලූෆ පෙරේරා

Country ...

Total cases

...+ 0 Today

Total recovered

...

Total deaths

...+ 0 Today

Total critical

...