ඔබේ පුංචි පැටියා එක්ක සෙල්ලම් කරන්න ඉඟි කිහිපයක්

ඔබේ පුංචි පැටියා එක්ක සෙල්ලම් කරන්න ඉඟි කිහිපයක්

කිරිකැටි පැටියා එක්ක සෙල්ලම් කරන්න තාමත් ඔබට හරිහැටි හිතාගන්න බැහැ. ඒක සාමාන්‍යයි. ඉතින් මේ අලුත් අත්දැකීමට හුරුවෙන්න මේ ඉඟි කිහිපයත් ඔබට වටින්නේ දැයි බලන්න.

පුංචි බබාලා හරියට මලක් වගේ සිනිඳුයි, මොළකැටියි, අල්ලන්නත් බයයි. ඒ ගොල්ලන්ට ඒගොල්ලන්ගේ භාෂාවක් කතා විලාශයක් තියෙනවා. හොඳින් වැඩුන, කතාකරන, ඇවිදින දරුවෙකුට වඩා බිළිඳෙකු සමග සෙල්ලම් කරන ආකාරය වෙනස් කියලා කියන්නෙත් ඒකයි.

1. මුහුණ එක් එක් ආකාරයට හදන්න

පර්යේෂණ වලට අනුව දරුවන් වෙනස් දේවල් නරඹන්න කැමති බව කියවෙනවා. හුඟක් වෙලාවට මාස 3-4 වයසේ බබාලා ඒගොල්ලන්ගේ අම්මා තාත්තා දිහා බලාගෙනම ඉන්න ආසයි. ඉතින් ඔබ ඔවුන් ළඟින් ඈත්වෙන තුරුම ඔබ දිහා බලාගෙන ඉන්නෙ ඒ නිසයි. මාස 4 ක් විතර යනකොට ඔවුන් වස්තූන් එක දෙයකින් තවත් දෙයකට මාරු වන ආකාරය අවබෝධ කරගන්නවා. ඒ වගේ මුහුණේ නොයෙක් ආකාරයේ ඉරියවු වලට මාරු කිරීම, ඇස් ලොකු පොඩි කිරීම, කටින් ශබ්ධ පිට කිරීම ඔවුන්ට සතුටක් ගෙන දෙනවා. පුංචි පැටියා තවත් අලුත් දේවල් දිහා හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් එය ඔබටත් පැටියාටත් දෙදෙනාටම විනෝදය ගෙන එනවා.

2. පුංචි සරල සෙල්ලම් බඩු මිලදී ගන්න

පැටියා නාන වෙලාව සෙල්ලමට හුඟක් හොඳ වෙලාවක්. වතුර එයාගේ වටේට විසිකරන එක පැටියාට නැවුම් බවක් ගේනවා. පැටියට වතුරවල ස්වභාවය බිඳු හා පොකුරු ලෙස විහිදී යන හැටි අත්දකින්න දෙන්න. මේකට පුංචි තාර පැටියෙක්, බෝලයක් වගේ දෙයක් එකතුකර ගන්නත් පුළුවන්.

3. නිතර ගී ගයමින් පැටියට කතා කරන්න

අම්මයි තාත්තයි පැටියට සිංදු කියන එක, කතා කරන එක තරම් සතුටක් එයාට නැති තරම්. ඉන් දරුවා සන්සුන් කරනවා වගේම සතුටින් තබනවා. එය දරුවාගේ බුද්ධි වර්ධනයටත් වැදගත් වෙනවා.

ඔවුන්ට පුංචි කාලයේ ඉඳන්ම කතන්දර කියවන්න ඇසෙන්න සලස්වන්න. ඔවුන්ට හැමදේම කතන්දරයක්. ඔබේ හඬ ගලා යන ආකාරය ඔවුන් ඉගෙන ගන්නවා. එය විනෝදයක් වගේම අධ්‍යාපනයකුත් ලබා දෙනවා.

දරුවන් විවිධ වයස් වලදී විවිධ අයුරින් හැසිරෙනවා. ඔවුන් නිතරම ඔබ දෙස බලන්නේ ඔබ ඔවුන්ගේ ආරක්ෂකයා හා සතුට උදාකරන අය ලෙසයි. ඉතින් ඔවුන්ට සතුට, ආරක්ෂාව ලබා දීම අම්මටයි තාත්තටයි පැවරෙන ලොකුම වගකීමක්. ඔවුන්ගේ සතුට වෙනුවෙන් මේ ක්‍රියාකාරකම් වල නිරතවෙලා කිරි සිනා දකින්න, ඔවුන්ට සතුට ගෙනදෙන්න ඔබට පුළුවන්. theAsianparent Sri Lanka මේ සටහන ඒ වෙනුවෙනි.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නිසංසලා ලියනගේ