ඔබේ දරුවා අනාගතයේදී ඉංජිනේරුවෙක්, වෛද්‍යවරියක් විය යුතුමද?

lead image

දරුවන්ව දෙමාපියන්ගේ ඉලක්ක වෙත යැවීම වෙනුවට ඔවුන්ගේ හැකියාවන් හදුනාගෙන ඒ තුලින් ඉදිරියට යාමට මග පෙන්විය යුත්තේ ඇයි?

දෙමාපියන් වශයෙන් අපි හැමෝම අපේ දරුවන් ගැන හීන දකිනවා. ඔවුන් අනාගතයේදී වෛද්‍ය, ඉංජීනේරු වැනි ඉහල වෘත්තියන් තුල යෙදෙනවා දකින්න අපි කැමතියි. ඒක නිසා දරුවා ඉපදුන දවසේම අපි හිතා ගන්නවා. " මම මගේ පුතාව ඉංජිනේරුවෙක් කරනවා." "මම දුවව වෛද්‍යවරියක කරනවා." 

ඒත් මෙතරම් බලාපොරොත්තු දරුවාගේ චූටි උරහිස් මත තැබීම හරිද? 

1. ලොව සියලු දරුවන් උසස් වෘත්තිකයන් විය යුතුද?

ලෝකය තුල සිටින සියලුම දරුවන් වෛද්‍යවරුන් ,ඉංජිනේරුවන් විය යුතුයැයි නියමයක් නැත . දරුවන් අතරින් කොටසක් ඒ සදහා දක්ෂයන් අතර අනෙක් දරුවන්ගේ දක්ෂතා විවිධාකාර වේ.

පියා ඉංජිනේරුවෙක් වු නිසාම ද පුතාද ඉංජිනේරුවෙක් විය යුතුමයි හෝ මව වෛද්‍යවරියක වු නිසා දියණිය වෛද්‍යවරියක විය යුතුයැයි සම්මතක් ලොව තුල නැත . එහෙත්  එසේ විය හැකි නම් එහි වරදක් නැත .මෙහිදී වටහා ගත යුත්තේ දරුවන්ගේ හැකියාවන් විවිධ පරාසයන් තුල ඇති බවත්, දරුවා වඩා දක්ෂ හැකියාව හදුනා ගෙන ඒ සදහා මග පෙන්වීමේ වැදගත් කම පමණි.

 2. වෙනස් විදියට ලෝකය දැක්කෝ ලෝකය ජය ගත්තෝ

ලෝකය දෙස වෙනස් අයුරින් දැක්කෝ ලෝකය ජය ගෙන ඇති බව ලෝකය දෙස බලද්දී අපට  දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුලද මෙසේ විවිධ අංශ වලින් ජීවිතය ජය ගත්තෝ පෙන්වා දිය හැක.

පබ්ලිස් සිල්වා මහතා ඉන් එක් අයෙකි. ඔහු ඉවුම් පිහුම් කලාවෙන් ජිවිතය ජය ගත්තේය. තවද සුසන්තිකා ජයසිංහ මහත්මිය කුමාර සංගක්කාර මහතා ක්‍රීඩාවෙන් ජිවිතය ජය ගත්තෝය. මේ උදාහරණ කිහිපයක් පමණි .

3. දරුවන්ගේ හැකියාවන් හදුනාගන්න

ලොව සියලුම දරුවන්ට එකම මට්ටමේ දැනුමක් ඇතැයි නිගමනය කිරීම උචිත නොවේ. විවිධ ළමෝ එක එක අංශ කෙරෙහි විවිධ මට්ටමේ දක්ෂතා පෙන්වයි.

උදාහරණයක් ලෙස එක් දරුවෙක් ගණිතය විෂයට ඉහල දක්ෂතාවක් දක්වද්දී තව දරුවෙක් චිත්‍ර විෂයට අති දක්ෂයෙක් විය හැක. චිත්‍ර විෂයට දක්ෂ දරුවා ගණිතය විෂයට නැඹුරු වී එමගින් ජිවිතය ජය ගත යුතු යැයි ඔබ හිතන්නේ නම් ඔබ ඒ ඉලක්කය හඹා යාමට දරුවා පොලඹවන්නේ නම් කණගාටුයි කියන්න ඔබ ඔබේ දරුවා හදුනාගෙන නැත . ඒ නිසා පලමුව ඔබේ දරුවාගේ දක්ෂතාවයන් හදුනා ගන්න.

4. දරුවාට දරුවා වෙන්න ඉඩ දෙන්න

ඔබ පලමුව කල යුත්තේ දරුවාව සුක්ෂම ලෙස නිරීක්ෂණය කර ඔහුගේ හැකියාවන් හදුනා ගැනීමය. දරුවා කැමැත්ත ඇති දක්ෂතා දක්වන අංශ වෙත ඔහුව නැඹුරු කරන්න.

ඒ සදහා දරුවාට අවශ්‍ය පහසුකම්, උපකාරක පංති, දිරිය දෙමව්පියන් වශයෙන් ඔබ ලබා දීම වැදගත්ය. දරුවා ඔහුගේ හැකියාවන් ඔස්සේ ඉදිරියට යෑම නිසා ඔහුට ඔහු විය හැක..එය දරුවාගේ පෞරුෂත්වය ගොඩ නැගීමට දායක වනවා මෙන්ම නුදුරු දිනකදි දරුවා ඔහුගේ හැකියාවන් තුලින් ලෝකය ජය ගනී.