ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

දරු ප්‍රසුතියෙන් ‌පෙර හා පසු ඔබේ ‌ෙයෝනියේ ‌වෙනස්වීම ඔබේ අවධානය පිණිසයි.

ගර්භණි සමයේ කුස නෙරා ඒම, පියයුරු විශාල වීම මෙන්ම ඔබේ යෝනිය වෙනස්වීම පවා සිදුවෙනවා.

ගර්භණි සමයේ ඇතිවෙන යෝනිය වෙනස්වීම දරු ප්‍රසුතියෙන් පසුවද පවතින නිසා කාන්තාවන් වශයෙන් අපි කොයි කවුරුත් ඒ ගැන දැනුවත්වීම වටිනවා.

ගර්භණී සමයේදී යෝනි සෞඛ්‍යය

ගර්භණි සමයේ ඔබේ යෝනියේ සාමාන්‍ය අසාමාන්‍යතා දැන ගැනීමෙන් ගැටලු ඇතිනම් මගහරවා ගන්න පුළුවන්. 

ගර්භණි සමය තුල යෝනිය වෙනස්වීම් කිහිපයක්

1.යෝනි ශ්‍රාවය වැඩි වීම

ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

ගර්භණී සමයේදී යෝනි ශ්‍රාවයන් වැඩිපුර නිකුත් වෙනවා. ඊට හේතුව ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ඉහල යාමයි.

ඒ වගේම රුධිර පරිමාව වැඩිවීම සහ රුධිර ප්‍රවාහයද යෝනි ශ්‍රාවය වැඩි කිරීමට දායක වෙනවා.

ගර්භණී සමයේ පිට වෙන ශ්‍රාවයන් තුනී, සුදු හෝ කිරි පැහැයෙන් යුක්තයි. ඔබගේ ප්‍රස්‍රත දිනය ළඟා වෙත්ම එය ප්‍රමාණයෙන් වැඩි විය හැකිය.

එය දුර්ගන්ධයක් නොතිබිය යුතුයි.. නමුත් පෙරට වඩා කැපී පෙනෙන මෘදු ගන්ධයක් තිබෙන්න පුළුවන්.

යෝනි ශ්‍රාව  ඔබට කරදරයක් නම් කුඩා පෑඩ් පැළඳීමට උත්සාහ කරන්න.

2.යෝනි ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වීම

සමහර අවස්ථාවලදී, යෝනි ශ්‍රාවය වැඩි වීම ආසාදනයක් ඇතිවීම නිසාත් වෙන්න පුළුවන්. ගර්භණී සමයේදී ඔබ වැඩිපුර  යෝනි ආසාදන වලට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා.

එයට හේතුව වන්නේ හොමෝන නිසා ඔබේ යෝනි මාර්ගයේ pH-අගය වෙනස් වීමයි.

  • යීස්ට් ආසාදන: 

ගර්භණී සමයේදී යෝනි ශ්‍රාවයන් තුළ සීනි වැඩි ප්‍රමාණයක් අඩංගු වීම නිසා මෙම ආසාදනයට ගොදුරුවීම සිදුවෙනවා.

මේ මගින් ඔබේ කුසතුල සිටින දරුවාට හානියක් නැතත් යෝනි කැසීම, යෝනි ශ්‍රාව ගෘහ චීස්  වැනි වීම , යීස්ට් සුවඳ සහ යෝනි දැවිල්ල නිසා ඔබ අපහසුතාවයට ලක්වෙන්න පුළුවන්.

  • බැක්ටීරියා වජිනෝසිස් (බීවී): 

ඇමරිකානු ගර්භණී සංගමයට අනුව ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 10 ත් 30 ත් අතර සංඛ්‍යාවක් මෙයට ගොදුරු වෙනවා.

හිතකර සහ අහිතකර යෝනි බැක්ටීරියා වල අසමතුලිතතාවය නිසා මෙම තත්වය ඇතිවෙනවා.

මාළු සුවඳැති අළු පාට ශ්‍රාව පිටවෙන මෙම රෝගි තත්වයට නිසි.ප්‍රතිකාර නොකළ විට නොමේරූ දරු උපත්, අඩු බර දරු උපත් මෙන්ම ගබ්සාවීම් ඇතිවෙන්න පුළුවන්.

  • ට්‍රයිකොමෝනියාසිස්: 

මෙම ආසාදනය ලිංගිකව සම්ප්‍රේශනය වෙනවා.

ඔබ රෝගයට ගොදුරු වුවහොත් වොටර් බෑග් එක කැඩී යෑම හෝ නොමේරූ දරු උපත් වැනි බරපතල ගර්භණී සංකූලතා ඇතිවෙන්න පුළුවන්.

දුර්ගන්ධය, කහ-කොළ ශ්‍රාව පිටවම , යෝනි කැසීම සහ රතු පැහැය , මුත්‍රා කිරීමේදී හා ලිංගිකව එක්වීමේ වේදනාව ඇතිනම් ප්‍රතිකාර ලබාගන්න.

3.යෝනිය වැඩිපුර ඉදිමීම

ඔබේ කුස තුල වැඩෙන දරුවාට හොද රුධිර ප්‍රවාහයක් ලබා දෙන බැවින් ඔබේ යෝනිය ඉදිමුණ ස්වභාවයක් ගන්නා අතර එයට හොමෝන වෙනස්වීම්ද බලපෑ විට අදුරු පැහැයක් ගන්නවා.

මේ නිසා ඔබේ ලිංගික ආාව මේ සමයේ ඉහළ යන්න පුළුවන්.

නමුත් ඔාබ්  යෝනිය වැඩිපුර ඉදිමීම හා රතු පැහැය, දැවිල්ල සහ කැසීම ඇති වුවහොත් ආසාදනයක් වෙන්න පුළුවන්. වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

4.නහර  ගැටගැසීම 

ගර්භණිත්වය ඔබේ යෝනියේ සෞඛ්‍යයට බලපාන්නේ මෙහෙමයි

ගර්භණී සමයේදී ගැටගැසුනු  නහර ඔබේ යෝනිය තුලද දකින්න පුළුවන්.

මෙය ඇතිවන්නේ රුධිර පරිමාව වැඩි වීමත්, ඔබේ පහළ අන්තයේ සිට ඔබේ රුධිරය විශාල ප්‍රමාණයක් වේගයෙන් ගලා යාමත් නිසාය.

මේ තත්වය ඔබේ යෝනිය ප්‍රදේශය අසහනයට පත් කල හැකි බැවින් සීතල තැවීමක් කිරීම, වැතිර සිටින විට ඔබේ ඉණ ඉහළට ඔසවා තැබීම හෝ  සම්පීඩන ඇඳුමක් ඇඳීම කරන්න පුළුවන්.

දරු ප්‍රසූතියෙන් සති කිහිපයක් ඇතුළත මේ තත්වය ඉබේම මග හැරි යයි.

5.යෝනි මාර්ගයෙන් ලේ ගැලීම

ඔබගේ ගර්භණිත්වයේ පළමු ත්‍රෛමාසික කාලය තුළ යෝනියෙන් ලේ ගැලීම අසාමාන්‍ය දෙයක් නොවේ.

එයට හේතුව යුක්තාණුව ගර්භාෂයේ බිත්තියට සවිවීමේදි ලේ පිටවීම විය හැකිය.

ලේ පරිමාව වැඩිවීම නිසා ද එය සිදුවෙන්න පුළුවන්. 

නමුත් සමහර අවස්ථාවලදී, මෙලෙස යෝනියෙන් ලේ පිට වීම ගබ්සා වීමේ සලකුණක් විය හැකි අතර දැඩි කැක්කුම හා ලේ කැටි පිටවීම සිදුවේ නම් වහාම වෛද්‍යවරයෙකු සමුවෙන්න. 

ඔබේ දෙවන හා තුන්වන ත්‍රෛමාසික කාලය තුළ යෝනියෙන් ලේ ගැලීම සිදුවේ නම් පහත හේතු නිසා වෙන්න පුළුවන්. ඒ සදහා වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන්න.

  • වැදෑමහ අවහිර කිරීම 
  • ගැබ්ගෙල කලින් විවරවීම
  • නොමේරූ දරු ප්‍රසුතිය
  • ගර්භාෂ බිදියෑම

දරු ප්‍රසූතිය ආරම්භ වූ විට, ඔබට රෝස පැහැති යෝනි ශ්‍රාවය පිටවීම සාමාන්‍ය දෙයකි. 

යෝනිය වෙනස්වීම: දරු ප්‍රසූතියෙන් පසු යෝනි සෞඛ්‍යය

ප්‍රසුතියෙන් පසු යෝනිය

සාමාන්‍ය දරු ප්‍රසුතියෙන් පසු යෝනිය ඉදිමීම හා වේදනාව ඇතිවීම සාමාන්‍යයි. ඔබට මුත්‍රා පිටකිරීමේදි හා මළ පහ පිටකිරීමේදි වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් දරු ප්‍රසුතියෙන් සති කිහිපයක් යන විට මෙය මග හැරීයයි.

දරු ප්‍රසූතියෙන් පසු පළමු පැය 24 සඳහා තද රතු පැහැති රුධිරය  සහ රුධිර කැටි පිටවෙන්න පුළුවන්.

ඊට පසු, ලේ ගැලීම ක්‍රමයෙන් අඩුවී යනවා.දරු ප්‍රසූතියෙන් පසු සති දෙකේ සිට හය දක්වා කාලය තුළ යෝනි මාර්ගයෙන් ලේ ගැලීම සිදු වෙනවා.

දරු ප්‍රසූතියෙන් පසු ඔබේ යෝනි මාර්ගය පුළුල් හා ඇදෙනසුළු බවක් දැනෙන්න පුළුවන්. එය සාමාන්‍යයෙන් සති හයක් තුළ වැඩි ඇදීමකට ලක්වෙනවා.

කෙගල් ව්‍යායාම සහ ගර්භණී සමයේදී හා පසුව සිදු කරන වෙනත් ශ්‍රෝණි ව්‍යායාම මගින් යෝනි ස්වරය වැඩි කිරීමට සහ යෝනි මාර්ගය තුළට අවයව ප්‍රසාරණය වීමේ අවදානම අඩු කිරීමට උපකාරී වෙනවා.

මව්කිරි දෙන කාන්තාවන්ට ඊස්ටජන් මට්ටම අඩු වන අතර යෝනි මාර්ගයේ  වියළි බවක් ඇතිවෙන්න පුළුවන්.

ජලය මත පදනම් වූ ලිහිසි තෙල් සහ ස්වාභාවික මොයිස්චරයිසර් මගින් වේදනාකාරී ලිංගික හැසිරිම් සමනය කරගත හැකි අතර එය යෝනි කැසීම සහ යෝනි  දැවිල්ල වැනි රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වෙනවා.

යෝනිය වෙනස්වීම: යෝනිය නිරෝගීව තබා ගැනීම

ගර්භණීභාවය හා දරු ප්‍රසූතියේදී ඔබේ යෝනි මාර්ගය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා.

ඒනිසා  ගර්භණී සමයේදී සහ පසුව ඔබේ යෝනි මාර්ගය නිරෝගීව තබා ගැනීම සඳහා උපදෙස් කිහිපයක් මෙන්න:

  • ස්නානය කිරීමෙන් හෝ පිහිනීමෙන් පසු  ඔබේ යෝනි ප්‍රදේශය වියළන්න.
  • වැසිකිළියට ගිය පසු යෝනියේ සිට ගුදය දෙසට සෝදන්න
  • සුවඳවත් සනීපාරක්ෂක පෑඩ් හෝ ටැම්පොන් භාවිතා නොකරන්න.
  • සුවඳ විලවුන් යෙදු ගැහැණු සනීපාරක්ෂක ඉසින හෝ පුද්ගලික සත්කාර නිෂ්පාදන වලින් වළකින්න.
  • ලිහිල් ඇඳුම් හෝ යට ඇඳුම් අඳින්න.
  • යෝගට් නිතිපතා අනුභව කරන්න.
  • ඔබ ලබා ගන්නා සීනි ප්‍රමාණය අඩු කරන්න.
  • සජලීකරණයෙන් සිටින්න.
  • සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලක් අනුභව කරන්න.
  •  නිතිපතා ව්‍යායාම කරන්න.
  • වගකිවයුතු ලිංගික ඇසුරක් පවත්වන්න.
  • යෝනි ශ්‍රාවය හෝ වෙනත් යෝනි මාර්ග පිළිබඳ සැකයක් ඇති විට ඔබේ වෛද්‍යවරයා හමුවන්න. සමහර යෝනි රෝග ලක්ෂණ බරපතල ගැටලුවක ලකුණක් විය හැකි බැවින් ප්‍රවේශම් වීම වඩාත් සුදුසුය.
මුලාශ්‍ර - www.healthline.comපරිවර්තනය හා සංස්කරණය : නදීශා ලක්මිණි*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි