ගැබිනි මට අසුනක් නොදුන් ඔබ වෙත ලියමි

ගැබිනි මට අසුනක් නොදුන් ඔබ වෙත ලියමි

අනේ මගේ වළලුකර ඉදිමිලා. ඔයාගේ  වගේ නෙමෙයි. මගේ ලොකු බණ්ඩියේ පීඩනය නිසා මගේ කොඳු ඇට පේලීය පුපුරන්න වගේ ... "

ගැබිණි කාලයේ බස් වල යන අම්මලාගේ කදුළු කතාවක්.

මට ඔයාව පේනවා. මම හිතන්නේ ඔයත් මාව දැක්කා. මම බසයට අපහසුවෙන් නැග මගේ විශාල බඩ ඔසවාගෙන යන විට ඔබට සැබවින්ම කළ හැක්කක් නැහැ තමයි.

මිනිස්සු මාව ඔබ ඉදිරිපිටට තල්ලු කලා. ඔබ මුලින්ම මගේ කුස දිහා බලන්න. පසුව අපි තත්පරයකටත් අඩු කාලයක් ඇස් දිහා බලාගෙන ඉන්නවා. ගැබිනි මවකට වාඩිවෙන්න අසුනක් දීමට ඔබට අදහසක් නැති බව ඒ මොහොතේදී මට තේරුනා.

ඔබ හිස පහත් කර ගෙන, ඇස් පියාගෙන , ඔබේම ලෝකයකට ආපසු යනවා. ඔබේ හෙඩ්ෆෝන් එක සියලු ශබ්දය අවහිර කරනවා වගේම ඔබේ ආත්මාර්ථකාමී ආත්මය සියලු හැඟීම් අවහිර කරනවා.
ඔබේ සිහින්, ඉදිමුණු නැති පාද ඔබ සවන් දෙන සංගීතයේ තාලයට අනුව බිමට තට්ටු කරනවා.

ගැබිණි කාලයේ බස් වල යන අම්මලාගේ කදුළු කතාවක්...අනේ ඒ ගැබිනි මවට වාඩි වීමට ඉඩ දෙන්න.

අනේ මගේ වළලුකර ඉදිමිලා. ඔයාගේ වගේ නෙමෙයි. මගේ ලොකු බණ්ඩියේ පීඩනය නිසා මගේ කොඳු ඇට පේලීය පුපුරන්න වගේ. ඔබේ කොන්ද නම් ආසනයේ පිටුපසට වන්නට මනාව තියෙනවා.

මගේ කුස තුළ නම් පුංචි පාද පයින් ගසනවා. ඒ සෑම පාරකටම මගේ මුත්‍රාශයේ  පුපුරා යන්න එනවා වගේ.

අනෙක් අතට ඔබේ දිවා ආහාරය  ඔබේ බඩේ තුල පහසුවෙන් ජීර්ණය වෙලා නේද? මගේ අසහනය නොසලකා හරිමින් ඔබව අසුනට අලවා තබමින් ඔබ ලබන සැනසිල්ල ගැන මට ඊර්ෂ්‍යාවක් නැහැ.
ඒත් ගැබිනි මවකට වාඩි වීමට ඉඩ දීමට  ඔබ එක මොහොතකටවත් නොසිතීම ගැන මම අමනාපයෙන් පසුවෙනවා.
 
බලන්න එය සදාචාරය ගැන නොවේ. එය ආචාරශීලීත්වය ගැනවත් නොවේ. නමුත් එය අනුකම්පාව සහ මානුෂීයව හිතීම ගැනයි. හිතාමතාම, ස්වේච්ඡාවෙන් වෙනත් මිනිසෙකුට උදව් කිරීම කියන්නේ අන් අයගේ හැඟීම් බෙදාහදා ගැනිමයි.
 
ඔබ වැනි අය මට හමු වූ විට, මගේ නූපන් දරුවා ගැන මට කනස්සල්ලක් දැනෙනවා. මම ඇත්තටම දරුවෙකු මේ ආත්මාර්ථකාමී, හැඟීම් දැනීම් නැති ලෝකයට ගෙන එනවාද? 
 
මගේ දරුවා ඔබ වැනි කෙනෙකුගෙන් ඉගෙන ගතහොත් ඔහුට කුමක් වේවිද? මගේ දරුවාට ඔබ සමඟ වැඩ කිරීමට සිදුවුවහොත් කුමක් වේවිද?
 
ඔහු හෝ ඇය මෙම ඇසුරින් ඉගෙන ගන්නා සමාජ වටිනාකම් ගැන කුමක් වේවිද?
අද ඔබ ගැබිනි මවකට වාඩි වීමට ඉඩ නොදෙනවා. එසේ නම් හෙට  අලුත උපන් බිළිඳකු හා කුඩා දරුවෙකු වඩා ගෙන අම්මා කෙනෙකුටත් අන්තිමට යන්තම් නැගී සිටිය හැකි දුර්වල  වැඩිහිටියෙකුටත් මේ ඉරණම අත්වේවි.
 
නමුත්, අද මම සිටගෙන ඉන්නවා. ගොඩාක් මහන්සියි තමයි. ඒත් ගැබිනි සහ ආඩම්බරයෙන් මම සිටගෙන ඉන්නවා.
හෙට මම අලුත උපන් බිළිඳකුගේ අම්මා කෙනෙක්,
ඔබ මා සහ මගේ නෙරා ආ කුස හිතා මතාම  නොසලකා හරින බව මා දකිනවා. එවිට ඔබ සතු නොවු සාරධර්ම මගේ දරුවා තුල ඇති කර ඔහු හදාවඩා ගැනීමට මම වෙන කවරදාටත් වඩා අධිෂ්ඨාන  කරගන්නවා.
 
එවිට මගේ දරුවා කවදා හෝ ඔබේ වයස එන විට , ඔහු හෝ ඇය එම දුර්වල වැඩිහිටියෙකුට සිය අසුන ලබා දීමට පසුබට නොවේවි. ඔබ අද මෙය කියවන්නේ නම්, අනේ ඒ ගැබිනි අම්මාට වාඩි වීමට ඉඩ දෙන්න.ඔබේ අනාගතය සහ බලාපොරොත්තුවේ සංකේතයක් ඇයගේ කුස තුල හුස්ම ගන්නවා.
 
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නදීශා ලක්මිණි
 
*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.