ඔබේ පුංචි පැටියා මාස 6 ක් විතර වෙනකොට කෙළ පෙරමින් අතට අසුවන දේ හපන්න ගන්නවා. සමහර විට ඇඟිල්ල හරි වෙන්න පුළුවන්. ඉතින් ඔබ මීට හේතුව සොයනවා. හේතුව තමයි බබාගේ දත් එනවා කියන එක. ඒත් බබාගේ දත් එනවා කියන එක හරියටම ස්ථිරව දැනගන්නෙ කොහොමද?

බබාගේ දත් එනවද? සලකුණු 7 ක්
1. කෙළ කටින් එළියට දමමින් කෙළ පුම්බනවා
හේතුවක් නැතිව කටින් කෙළ එළියට ගලනවද? මේක දත් එන බව කියාපාන ඉඟියක්. ඉතින් ඔබ තොරතෝංචියක් නැතිව දරුවාව පිරිසිදු කරනවා. කට පිහ දානවා.
නමුත් මේ කෙළ සීමාව ඉක්මවා ගැලීමට හේතුවක් තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ළමා රෝග වෛද්‍යවරියක් වන කෙන් හැලර්ට අනුව මෙම කෙළ ගැලීම මගින් දරුවාට දත්මුල් වලට පහසුවක් වගේම දත්මුල් ඉදිමීම නැතිකරගන්නත් හේතු වෙනවා.
ඒවා වගේම අතට අසුවන දේවල් දරුවා කටේ දාන නිසා විෂබීජ වලිනුත් ඒ නිසා ආරක්ෂාවක් ලැබෙනවා. නමුත් කටින් කෙළ ගැලීම දත් ඒම නිසාම පමණක් සිදුවන්නේ නැහැ. ඊට තවත් හේතු තිබිය හැකියි.
සෙම්ගෙඩි: පුංචි අයට ලොකු සෙම්ගෙඩි ඇතිවීම නිසාත් කෙළ ගිලින්න අපහසු වෙනවා. ඒ නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්.
අසාදන: MedlinePlus හි දොස්තරවරුන්ට අනුව උගුරේ විවිධ අසාදන නිසාත් මේ තත්වය ඇතිවෙන්න පුළුවන්. ඉතින් දත් ඒම හා සම්බන්ධයක් දරුවාගේ කටින් කෙළ නිකුත් වීමට නැත්නම් වෛද්‍ය සහය පැතීම වැදගත්.

2. හපනවා, විකනවා
ඌ....ආයි.... කිරි දෙන වාරයක් ගානේ පැටියා ඔබේ තනපුඩුව සපනවා. ඇත්තටම හුඟක් පැටවු මේක කරන්නේ අම්මගේ මේ ප්‍රතිචාරයෙන් සතුටට පත් වෙන්නයි.
මීට අමතරව නිතරම පැටියා මේ දේ කරන අතරතුර අනිත් අතට අසුවන හැමදේම විකනවා නම් එය අනිවාර්යයෙන්ම දත් එන බවට සලකුණක්.
දරුවන් මේක කරන්නේ මෝදු වෙන දත් වලින් ඔවුන්ට දැනෙන වේදනාවෙන් ගැලවෙන්නයි.
මේ කාලය තුළ හැපීමට සකසා ඇති ආරක්‍ෂිත පුංචි පුංචි සෙල්ලම් බඩු දරුවාට ලබා දෙන්න.
ශීතකරණයේ සිසිල් කළ හැකි විශේෂිත සෙල්ලම් බඩු දරුවාට හපන්න දුන්නොත් එය ඔහුට හුඟක් සහනයක් වෙනවා.
නමුත් මේවා උවමනාවට වඩා ශිතකරන්න එපා. දරුවා ආහාර ගන්න පටන් අරගෙන නම් තරමක් තද ආහාර, කැරට් දිග අතට කැපූ කැබලි, තද බිස්කට් වැනි දේවල් ලබා දෙන්න පුළුවන්.

3. විදුරුමස් පරික්ෂා කර බලන්න
පිරිසිදු කළ අත් වලින් ඔබට දරුවාගේ විදුරුමස් පරික්ෂාකර බලන්න පුළුවන්. පුංචි පුංචි උල් වගේ අතට අසුවෙනවා නම් ඒවා දත් ඒමේ මුල් අවස්ථාවන් ලෙස හඳුනාගන්න පුළුවන්.
එහෙම දැනුනේ නැතත් විදුරුමස් රතු පැහැයට හැරී ඇත්නම් එයත් දත් ඒම පිළිබඳ ඉඟියක්. නමුත් බොහෝ දෙනා කියන ආකාරයට අවුරුදු එකට අඩුනම් විදුරුමස් මත මී පැණි ආලේප කරන්න යන්න එපා. අවුරුදු 1ට අඩු දරුවන්ට මී පැණි සුදුසු නැති අතර ඉන් botulism නම් භායනක රෝගී තත්වයට හේතුවක් වන්න පුළුවන්.
4. කන් දෙක ඇද දමනවා
දරුවා නිතරම එයාගේ කන් දෙක අදින්නෙ වේදනාව නිසයි. දත් හා සම්බන්ධව ස්නායු කන් කරාත් පැතිරෙන නිසා ඇතිවෙන වේදනාව ඒ දක්වා යනවා.
නමුත් ඇත්තටම කන් වල වේදනාවක් නම් දරුවා හාන්සි වුන විට වේදනාව වැඩිවන අතර උණකුත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම කනේ කුහරය ආශ්‍රිතව රතුවී ආසාදනයට පත්ව තිබෙනවා. නමුත් ඔබට සැකයක් ඇත්නම් වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය අතර කන් වල ඇති ගැටළු වලට වහාම පිළියම් අවශ්‍ය වෙනවා.
5. එතරම් සතුටක් පෙනෙන්නේ නැහැ
විදුරුමස් සිදුරු කරගෙන අලුතෙන් දත් මතුවීම දරුවන්ට ඇත්තටම ලොකු වේදනාවක්. ඒ නිසා ඔවුන්ගේ හැසිරීම වෙනස් වෙන්න පුළුවන්. කෑම නොගැනීම, නිදා නොගැනීම, හැඬීම වැනි දේ කලත් ඔබට ඉවසන්න වෙනවා.
6. කෑම කන්න බැහැ
පැටියා කෑම කන්න පටන් ගත්තා විතරයි. ආසාවෙන් කන කෑම ප්‍රතික්ෂේප කරනවා. නමුත් දත් එන කාලෙට ඇතිවන වේදනාව නිසා කෑම ගැනීම ඒ වේදනාව පැටියට තවත් වැඩිකරනවා.
නමුත් දත් මෝදු වුන පසුව පැටියා නැවතත් පෙර ලෙසම ආහාර ගන්නවා. ඉන් ඔබ කලබලයට පත්විය යුතු නැහැ. සීතල හා මෘදු ආහාර මේ කාලය තුළ දෙන්න. ඔහු ඝන ආහාර ප්‍රතික්ෂේප කළත් ජලය හා විවිධ පානයන් ලබා දෙමින් ඔහුව විජලනයෙන් ගලවා ගැනීම වැදගත්.
7. නින්දක් නැති තරම්
පැටියා යන්තම් නින්දට හුරුවෙන්න පටන් ගත්තා විතරයි. ඔබට ටිකක් විවේකයක් ලැබෙයි කියලා හිතෙන කොටම ඒ තත්වය වෙනස් වෙනවා. නමුත් රෑ නින්ද දරුවාට ලැබෙන්නේ නැති තරම් කියලා ඔබට හිතෙයි.
වේදනාව නිසා එයා ළඟට නින්ද එන්නේ නැහැ. ඒ නිසා පැටියව සැනසීම අත්‍යවශ්‍යයි. නැතිනම් එයා තවත් වේදනාවට පත් වේවි.
දරුවන්ගේ ජිවිතයේ විවිධ අවදීන් අවබෝධ කරගනිමින් යන මේ ගමනේදී theAsianparent Sri Lanka ගෙන ආ මේ තොරතුරු හුඟක් වැදගත් වන්නට ඇතැයි අපි විශ්වාස කරනවා.
theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.
පරිවර්තනය: නිසංසලා ලියනගේ