ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 6 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 6 කොටස ඔබත් කියවන්න

යලි අවදිවු උරුමකරු 6

හෙදිය මාව ගෙදර යන්න සුදානම් කලා. කෝ ගිම්හාන හුග වේලාවකින් දැක්කේ නැහැකො

“අම්මා කෝ ගයියාකො

මට එකපාරටම ඇහුනා . අපේ අම්මාගේ ඇස් නලලේ..අම්මා දන්න ගයියෙක් ඉන්නවායෑ..

“ඕහ්..නෝ…නැහැ අම්මා මම ඇහුවේ කෝ මගේ යාලුවා ගිම්හාන ”

මම ආයෙමත් ඇහුවා .

“අර කොල්ලාද…ඌ ගෙදර යන්න ඇති..”

කිරි අම්මා කිව්වේ තරහින්..

“කිරි අම්මා ගිම්හාන මගේ යාලුවා ඔහොම කියන්න එපා”

මම කිව්වේ චුට්ටක් තරහා ගිහින්…ෂුවර් එකටම අපේ කිරි අම්මා ගිම්හානගේ හිත රිදෙන්න මොනවා හරි කියන්න ඇති .අපේ කිරි අම්මාට කොල්ලෝ ඇලජික් ඇයි මන්දා ..එයා හිතන්නේ මම කතාබහ කරන හැම කොල්ලෙක්ම මම කසාද බදිනවා කියලා …

“දෝණී තරහා ගන්න එපා..මැණිකේ ඔයා අපේ අම්මා එක්ක වාහනේට ගිහින් නගින්න..මම දෝණීව අරන් එන්නම්”

අම්මායි, කිරි අම්මායි යද්දිත් මම හිටියේ බිමට ඔරවගෙන…වෛද්‍යවරු කියන විදියට ගිම්හාන නැත්නම් මම අද නැහැ . එහෙව් කොල්ලාට බැනලා එලවන එක මට දුකයි..

“දෝණී..”

මම අප්පච්චිගේ හඩින් ඔලුව උස්සලා බැලුවා . දෙවියනේ අප්පච්චිට පිටිපස්සෙන් හිනාවෙවී ඉන්නේ ගිම්හාන ..

“ඔය දෙන්නා කතා කරන්නකෝ..මම මෙයාව ඩිස්චාර්ජ් කරගෙන බිල් සෙට්ල් කරලා එන්නම් …”

අප්පච්චි එහෙම කියලා ගියා.ඔව් නිශ්ශංක සූර්යබණ්ඩාර නිදහස් මතධාරියෙක් ..කැම්පස් ගිහින් ඉගෙන ගත්ත කොල්ලෙක් ..කෙල්ලෙක්, කොල්ලෙක් අතර තියෙන යාලුකමක්..කැම්පස් ජීවිතය එක්ක ඒවා සාමාන්‍ය දේවල් කියලා තේරුම් ගත්ත කෙනෙක් ..ඒ වගේම කෙල්ලකට ආශ්‍රය කරන හැම කොල්ලාම බදින්න බැහැ කියලා තේරුම් ගත්ත කෙනෙක් ,,අප්පච්චි යන දිහා බලාගෙන හිටපු මං ඊලගට හැරුනේ ගිම්හාන දිහාට ….මම ගිම්හාන දිහා රවලා බැලුවා .

” මොකද අප්පා මේ..ඔයාටත් ඔයාලාගේ කිරි අම්මාගේ ලෙඩේ හැදුනාද”

ගිම්හාන මගේ ලගින් වාඩිවෙලා ඇහුවා .

“කොහේද ගියේ ”

මම ඇහුවේ සැරෙන්..මගේ තරහා එහෙමමයි .

“මම එහා පැත්තේ හිටියේ නයිස්..”

ගිම්හාන මගේ ඇස් මග ඇරලා කිව්වා .

“ඉතින් කියනවාකෝ අපේ කිරි අම්මා තමුසෙව පැන්නුවා කියලා ”

මම ගිම්හානගේ පිටට තට්ටුවක් දාලා කියද්දී එයා තිගැස්සුනා .

“ඒ කියන්නේ තමුසේ නිදාගෙන වගේ හිටියේ බොරුවටද..ඒ යක්ෂණී මගේ බොටුව කඩාගෙන ලේ බොද්දී තමුසේ ආතල් එකේ හිටියාද”

ගිම්හාන අහද්දී මට හිනාගියා ..මගේ අනුමානය හරියටම හරි..අපේ කිරි මමී කොල්ලාට දෂ්ට කරලා…

“ඔක්කොම කරලා දත් තිස්දෙක පෙන්නපං….බූරුදෙන”

ගිම්හාන මගේ කොණ්ඩේ අවුල්කලා.. කොයි දේ කොහොම වුනත් ..මම ගිම්හානට ආදරය නොකලත්…ඔහුට මගේ හදවතේ තියෙන්නේ සුවිශේෂී තැනක් ..එතැන කවදාවත්ම වෙන කාටවත්ම හිමිනොවේවි..

“ගයියා..මම අද නුවර යනවා ..පේනවානේ මගේ කොන්ද ..මට ආයේ කාලෙකට නැගිටින්න වෙන්නේ නැහැ .අපිට ආයේ හම්බවෙන්න හුග කාලයක් යාවී”

මම කියද්දී ගිම්හාන බර හුස්මක් හෙලුවා.

“නයිස් මට සාංකාව හැදෙයි යකෝ..දැන් අවුරුදු හතරක් තිස්සේ අපි එකටමයි..උඹ නැතුව මම කාලයක් ඉන්නේ කොහොමද ..එහේ එන්නත් බැහැ අර වේරම්භ වාතේ ඉන්නකම්”

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

ගිම්හාන දුකින්…ඔව් මට දැනෙනවා ඒක…යන්න කලින් මගේ ආදරණීය යාලුවාගේ හිත හදන්න ඕනී..

ගිම්හාන දුකින්…ඔව් මට දැනෙනවා ඒක…යන්න කලින් මගේ ආදරණීය යාලුවාගේ හිත හදන්න ඕනී..

“ගයියා මාස හයක් විතර යද්දි මට තනියම නැගිට ගන්න පුළුවන් වේවි ..එතකොට රිසාල්ට් අවුට් වෙලා අපිට ඩිග්‍රිය ලැබිලා තියේවි …ඇප්ලයි කරපං ෆොරින් ප්‍රොජෙක්ට් වලට ..අපි දෙන්නාම යමු”

මම කිව්වේ ඇත්තටම මගේ අරමුණ ..ඩිග්‍රි එක ඉවර වුනාහම මම ෆොරින් ප්‍රොජෙක්ට් එකකට ජොයින් වෙන්න හිතා ගෙන හිටියේ ..ඊටපස්සේ ලෝකේ වටේ යනවා ..ඒක මගේ ඩ්‍රීම් එක…

“එහෙම කරමු නයිස්..උඹට ෆෝන් පාවිච්චි කරන්න බැහැනේ එහේ…මම උඹට ලියන්නම්….”

ගිම්හාන කියද්දී මටත් දුක හිතුනා ..අපි දෙන්නා මොහොතක් එකිනෙකා දිහා බලාගෙන හිටියා .

“දෝණි අපි යන් නේද…බොහොම ස්තුතියි පුතා මගේ දෝණිව බේර ගත්තාට”

අප්පච්චි කිව්වා . ගිම්හාන අප්පච්චිට දණ ගහලා වැන්දේ මගේ ඇස් නල්ලේ තියෙද්දී ..යකෝ මූ…මාමණ්ඩිට වදිනවා වගේනේ…..මම ගිම්හාන පිච්චිලා යන්න බැල්මක් හෙලුවා ..

“නයිස් පරිස්සමෙන් හොදේ ..මාත් දැන් ගෙදර යනවා ..කාලෙකින් ගෙදර ගිහින් නැහැ .”

ගිම්හාන මගේ රැවිල්ල මග ඇරලා හිනාවෙවී කිව්වා..

“නපුරා…මෝඩයා”

මගේ තොල් හෙමිහිට මුමුණන්න ඇති..

“ඒක නම් මට ඇහුනා…නපුරිච්චි …”

ගිම්හාන හෙමිහිට මගේ කනට මුමුනලා පිටිපස්ස බලන්න නැතුව ගියේ දුක හිතෙන නිසා වෙන්න ඇති…

“හ්ම් දෝණි අපිත් යමුද..අප්පු පුංචි කුමාරිහාමිගේ බඩු ඔක්කොම වාහනයට දාන්න..මම එයාව අරන් එන්නම්”

අප්පච්චි කියද්දී අප්පු මගේ ඔක්කොම බඩු අරගත්තා ..මම හිතුවේ අප්පච්චි මාව උස්සලා රෝද පුටුවෙන් තියයි කියලා .ඒත් ඔහු මාව දෝතට ගත්තා.

“අප්පු රෝද පුටුවත් අරන් වරෙන්”

අප්පච්චි එහෙම කියද්දී මම ඒ ආදරණීය උණුසුමට තුරුලු වුනා.. මම ඒ පපුව මතින් ඔලුව තියා ගත්තා..මට ඇහෙනවා ඒ පපුවේ ආදරණීය ශබ්දේ.. නිශ්ශංක සූර්යබණ්ඩාර අනෙක් වලව්කාරයෝ වගේ නෙමෙයි ..ඔහු ආදරණීය මිනිසෙක්..ලෝකේ දැක්ක මිනිසෙක්..ඔහුට ඕනී වුනේ නිම්නාදි ශෙනායා සූර්යබණ්ඩාරත් ඔහු වගේ විවෘත , ස්වාධීන චරිතයක් වෙනවා දකින්න.

“අප්පච්චි අපි නුවර යන්න කලින් හොස්ටල් එකට ගිහින් මගේ බඩු වගයක් ඇති අරගෙන යමු.”

මම කියද්දී අප්පච්චි ලස්සනට හිනාවුනා .

“අපි නුවර යන්නේ නැහැ මැණික..මම කොළඹින් ගෙයක් ගත්තා..ඔයාව නිතරම ඩොක්ටර් ගාවට ගේන්න ගෙනියන්න ඕනීනේ…බඩු ටික අරන් එහේ යමු”

අප්පච්චි එහෙම කියලා මාව පරිස්සමට ගෙනත් වාහනයෙන් තිබ්බා.

“කෝ ගියාද අරකා”

කිරි අම්මා ප්‍රෙෂර් තද කරගෙන කෑගහනවා..

“කෝකාද කිරි අම්මා ”

මම ඇස් ලොකු කරලා බොරුවට ඇහුවේ එයාව චුට්ටක් අවුස්සන්න හිතාගෙන .

“අර ගොයියාද මොකාද එකා”

කිරි අම්මා එහෙම අහද්දී නම් මට හිනාව නවත්තගන්න බැරිවුනා . කිරි අම්මා මං දිහා රවලා බැලුවා බැලිල්ලක්..අම්මෝ ඒක…කවුරු හරි මට වතුර එකක් දෙන්න පීස්…

අප්පු වාහනය නතර කලේ හොස්ටල් එක ඉස්සරහා ..මම කෙල්ලෙක් අතේ අයේෂාට පණිවිඩයක් යැව්වා.

“දෙවියනේ වස්තුවේ..මොකද මේ වුනේ”

අයේෂා දුවගෙන ආවේ පිස්සුවෙන් වගේ ..

“මම හොදින් අයිෂ්…උඹ මාව බලන්න දෙතුන් පාරක් ඇවිත් ගියාලු නේද ..ගයියා මට කිව්වා බං…මගේ බඩු ටික ගන්න ආවේ..”

මම කියද්දී අයේෂා කදුලු පෙරනවා. අවුරුදු හතරෙන් තුනක්ම මගේ රූමී අයේෂා ..අද අපි වෙන්වෙනවා.

“මට ගයියා කිව්වා බං …මම උඹේ බෑග් ලෑස්ති කලා..මමත් ලබන සතියේ යනවා. උඹ ඉක්මනට සනීපවෙයන් මැණික…”

අයේෂා මාව වැළදගත්තේ උතුරා යන සහෝදර ප්‍රේමයෙන්..

“අයිෂ් සොරි බං මම උඹේ සුදු සල්වාර් එකක් වැරදිලා අරන් ගිහින්”

මම කිව්වේ ඒ අත දුකින් මිරිකලා ..

“සුදු???? නැහ්..වෙන්න බැහැ ..මට එහෙම එකක් නැහැ .”

අයේෂා කිව්වේ මොහොතක් කල්පනා කරලා..මාව සීතල වුනා. එතකොට මගේ ලගට සුදු පාට සල්වාර් එකක් ආවේ කොහොමද …

“දෝණි යමු නේද …අම්මායි, කිරි අම්මායි අදම නුවර යන්න ඕනා.”

අප්පච්චි කියද්දී මම පියවි සිහියට ආවා. මම හා කියන්න ඔලුව වැනුවා .

….

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

නාදියා යලිත් අවදිවේවිද නිම්නාදිගේ ආත්මය තුලින්?

කොළඹ අලුත් ගෙදර මම කුමාරි එක්ක තනිවුනා ..අප්පච්චි සතියට දවසක් දෙකක් ආවා.අම්මායි , කිරි අම්මායි නම් මාසෙකට පාරක් ආවා..ඒ ගෙදර බිත්ති ඇතුලේ මම සිත්පිත් නැති හිරකාරියක් වුනා.. මාස තුනක් යද්දී මම කොහොම හරි මගේ දෙපයින් නැගිට ගත්තා.

“ෂ්….ඔලුව …කුමාරී”

මගේ හඩත් එක්ක කුමාරී මගේ ඇද පාමුල ..

“බේබී ඇහැරුනාද”

කුමාරී බලාගෙන ඉන්නේ මම මොනවා හරි කියන කම්..

“කුමාරි මොකාද ඔය එහා පැත්තේ කන පැලෙන්න සෙට් එකක් දාගෙන ඉන්න එකා…ඊ…ඊ…අහුවුනොත් මරනවා මම ”

මම කෑගැහුවේ තරහින්..

“ආහ්..නෝනා ඒ ගෙදර ඉන්නේ මහත්තයෙක්..පිට රටක එක්කෙනෙක්ලු”

කුමාරී කියද්දී මම එයා දිහා බැලුවේ කුතුහලයෙන් ..

“කුමාරි කොහොමද දන්නේ ”

මම අහද්දී කුමාරී වැරදි දෙයක් කියවුනා වගේ එයාගේ අතින් කට වහගත්තා . මම රවාගෙන බලාගෙන හිටියා .

“රවන්න එපා බේබි…මගේ යාලුවා රානී තමයි ඒ ගේ ක්ලීන් කරන්න සතියකට පාරක් යන්නේ ..මහත්තයා ඉන්නේ පිටරටලු..ලගදී ඒ එපාර්ට්මන්ට් එක අරන් තියෙන්නේ ..නිවාඩුවට ආවා කියන්නේ …ලොකු රස්සාවක් මහත්තයෙක්ලු. හරි හොදයිලු…”

කුමාරී ගිරවෙක් වගේ ඔක්කොම කියලා දැම්මා.

” මොන හොදක්ද කුමාරී ..මේ ගල් මූසලයා නිසා පාඩුවේ නිදාගන්න වත් බැහැ .හිටපංකෝ ඕකාට මම ”

මම බැල්කනියට දුවගෙන ආවේ තරහින් ,

” බේබි…මේ…”

කුමාරී මොනවාදෝ කියන්න හැදුවත් මම උවමනාවෙන් ඒක ඇහුවේ නැහැ ..මට ඕනී වුනේ මගේ තරහා පිටදාන්න කෙනෙක් ..
ඒ පැත්තේ බැල්කනියක ඔහු ඉන්නවා .යටි තොලත් හපාගෙන ඈත පේන කොළඹ නගරේ දිහා බලාගෙන ඔහු ලොකු කල්පනාවක , ඔහු අඩි හයක් විතර උස ඇති පේන විදියට සෝ හැන්ඩ්සම්…ඒත් මම හිටියේ යක්ෂාවේශ වෙලා..

“ඒයි”

මම කතා කරද්දී ඔහු තිගැස්සිලා වගේ මගේ බැල්කනි එක දිහා බලලා මාව ගනන් නොගෙන අහක බලා ගත්තා ..යකෝ මූ ..මට තවත් තරහා ගියේ..කිසිම කොල්ලෙක් මට කවදාවත්ම එහෙම කරලා නැහැ .අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙක් මගේ රූපේ දිහා දෙතුන් පාරක් හැරිලා බැලුවා .

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 6

යුග ගණනාවක් එකට ඇමුණු අපුරු ආදර අන්දරයක්

“මේ මිස්ටර් ඔයාගේ මියුසික් මට කරදරයි. ප්ලීස් වැදගත් විදියට ඉන්න”

මම ෆුල් ගට දාලා ඉංග්‍රීසියෙන් කිව්වේ තරහින්..ඒ මුහුණ ආයෙත් මගේ දිහාට හැරුනා..දෙවියනේ ඔහු හරිම කඩවසම් ..ඔහුගේ රුව, ඔහුගේ ඇස් මොකක් හෝ මතක් කලත් තරහින් හිටපු මගේ ඇස් වලට කිසිම දෙයක් අදුරගන්න පුළුවන් වුනේ නැහැ .

ඔහුගේ ඇස් මගේ ඔලුවේ ඉදන් පල්ලෙහාට ගමන් කලේ ස්කෑන් කරන්න වගේ ..අන්තිමට ඒ ඇස් මගේ දණහිස්සට ඉහලින් නතර වුනේ ඒ මූවේ සමච්චල් හිනාවක් ඇදෙද්දී ..මම මගේ කකුල් දිහා බැලුවේ මෙයා මොනවාද බලාගෙන ඉන්නේ කියලා ..

සන්තෝ මම ඉවරයි .මම තරහාටම එලියට බැහැලා තියෙන්නේ ඊයේ රෑ නිදාගන්න ඇදපු ෂෝර්ට් එක පිටින්…ඒක ෂෝර්ට් කිව්වාට ටූ ෂෝර්ට් …ඇදන් හිටපූ ටීෂර්ට් එක මම පහලට ඇද්දේ ලැජ්ජාවෙන් මූණ රතුවෙද්දී ..නිම්නාදි ජීවිතයේ පලවෙනි වතාවට ඇදගෙන නෑවාමයි මේ..

“මට වැදගත් විදියට ඉන්න කියන්න කලින්…යනවා..ඉස්සෙල්ලා තමුසේ වැදගත් විදියට ඇදගෙන එනවා.චීප් ගර්ල්”

ඔහු මට බැන්නේ සිංහලෙන්.

…යලි හමුවෙමු ඒ ආදරය සමගින්…….

යලි අවදිවු උරුමකරු 6 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි