ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 8

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 8

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 8 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 8 කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 8

“බුදු අම්මෝ බේබි..යකෙක්..යකෙක්”

කුමාරී මරලතෝනි දීලා මගේ බෙල්ල බදාගත්තා .

“අත අරිනවා මගේ බෙල්ල..මරන්නද හදන්නේ මාව..මේ යකෙක් නෙමෙයි කුමාරි වැම්පයර් කෙනෙක් ..”

මම කියද්දී කුමාරී බයෙන් හැකිලුනා. ඒ එක්කම ඩෝ බෙල් එක වැදුනා.

“අර මොකෙද්ද බෙල් එක උඩ නැගලා. ගිහින් අරිනවා බලන්න ”

මම කුමාරිට කිව්වා .

“අනේ බේබි මං බයයි.. ”

කුමාරී මං ලගට ගුලිවුනා .

“කිව්වාහම අහලා යනවා ඉතින් …”

මම සැර කරද්දී කුමාරී සාලයට ගියා.

“මොකද වුනේ මෙහෙන් යටිගිරියෙන් කෑගහනවා ඇහුනා ..කාටහරි කරදරයක්ද….”

දෙවියනේ ගෙට එබිලා ඇහුවේ ඔහු. අපේ ආදරණීය අසල්වැසියා නොහොත් වැම්පයර් .. කුමාරී යටිගිරියෙන් කෑගහලා ක්ලාන්තය වුනා. මම කොයිකටත් මගේ බෙල්ලේ තිබුන යන්ත්‍රය අතින් අල්ල ගත්තා.

“ඒයි එන්න එපා ඇතුලට ..මම එයාව බලාගන්නම්”

මම කිව්වේ කාමරයේ දොර ලග ඉදන්.ඔව් මෙච්චර කඩවසම් , ආකර්ෂණීය ඔහු නම් අනිවාර්යයෙන්ම වැම්පයර් කෙනෙක් වෙන්න ඕනී..

“තමුසෙලාට පිස්සුද ඕයි”

ඔහු අපේ දොර වැහුවේ වේගයෙන් , මම ඉක්මනින්ම ගිහින් දොර ලොක් කලා..ඊටපස්සේ කුමාරිගේ මූණට වතුර ටිකක් දැම්මා.

“මට බයයි බේබි”

කුමාරී මිමිණුවා .

“මේක හෝන්තුවක්නේ…බය නැතුව ඉන්නවා අයිසේ..මේ මම ඉන්නවානේ ..”

මම කිව්වේ බය නැති වීරයා වගේ ..මමත් බයයි කියලා මෙයාට කියන්නයෑ..

ඔහොමම දවස් කිහිපයක් ගෙවිලා ගියා. මම බැල්කනියට වත් ගියේ නැහැ .ජොගින් ගියෙත් නැහැ . ඒත් අද නම් කොහොම හරි ජොගින් යන්න ඕනී.. මම ඉක්මනින්ම ඇදගෙන දොරෙන් එලියට ඔලුව දාලා බැලුවා .අනිත් එපාර්ට්මන්ට් තුනේම දොරවල් වහලා . තත්වය සාමකාමීයි වගේ ..මම ඉක්මනින්ම දුවලා ගිහින් ලිෆ්ට් එකට පැන්නා. යන්න ඕනී තැන ක්ලික් කරන්න කලින් මම පපුව අල්ලගෙන සැනසුම් සුසුමක් හෙලුවා. ඒත් මොහොතක් විතරයි .එකපාරටම ලිෆ්ට් එක ඕපන් වෙලා ඇතුලට ආවේ ඔහු ..අතේ ලොකු බෑග් එකක්..ඔහු උස නිසා එකපාරටම මගේ දිහාට නැඹුරු වුනේ පුදුමයෙන් ..මම අත් දෙකෙන් බෙල්ල වහගෙන බෙරිහන් දුන්නා. එයා හයියෙන් තට්ටුවක් දාද්දියි මම ඇස් ඇරියේ…

“බහිනවා ඉතින්”

මම පුදුමයෙන් එයා දිහා බලාගෙනම පාරට දුවන්න හැදුවේ ..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 8

මේ සදහටම සමුගැනීමක්ද?

“ඔන්න පුංචි සුරංගනාවි මම යනවා .මෙහේ හිටියොත් ඔයත් අවුල් වෙනවා .මාත් අවුල් වෙනවා ..අපි ආයේ මුණ නොගැසේවී..ඒත් ඔයා හරිම හුරතල්..මගේ මතකේ හැමදාම ඉදිවි”

එහෙම කියලා ඔහු මගේ අත අත් ඇරියා..මම දුවලා පාර පැත්තට ආවා. අම්මෝ ඇති යාන්තම් වැම්පයර් යනවා. මම සැනසුම් හුස්මක් හෙලුවත් හදවත ඇතුලෙන් වේදනාවක් දැනුනා.

“ඔන්න කුමාරියෝ වැම්පයර් ගියා ”

මම ජොගින් ගිහින් ඇවිත් කියද්දී කුමාරී හිනාවුනා .

“මම දන්නවා බේබී ..ඊයේ රාණි මට කිව්වා”

කුමාරී කිව්වා..මම කාලෙකට පස්සේ බැල්කනියට දුවගෙන ගියේ සතුටින් .මම අත් දෙක විහිදලා හොද හුස්මක් ගත්තා. මට එකපාරටම බැලුනේ දකුණු පැත්තේ බැල්කනිය …ඒක පාලුවට ගිහින්..ඒක හැඩකරපු හැඩකාරයා යන්න ගිහින්..

මම ආපහු කාමරයට ඇවිත් ඇදෙන් වාඩිවුනා .

“ගේ විකුණලාම ගිහින්ද කුමාරි”

මම ඇහුවේ හිතේ කොනක වේදනාවක් එක්ක.

“නැහැ..ඒත් විකුනන්න දාවී..”

කුමාරී එහෙම කියද්දී මගේ හිතේ ආයෙම හීන් වේදනාවක් ඇදුනා. මම බැල්කනි එකට වෙලා ගොඩාක් වේලාවට ඔහේ බලාගෙන හිටියා . දකුණු පැත්තේ බැල්කනියට හැමදාම මගේ ඇස් යන්නේ ඉබේටම ..

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 8

අවුරුදු 2500 ක් ආදරය වෙනුවෙන් මැරි මැරි ඉපදුන අහිංසකාවිය

දවසක් මට ඇහුනේ වම් පැත්තේ බැල්කනිය පැත්තෙන් කලබලයක්..ඒත් පේන්න කවුරුත් නැහැ .

“කුමාරි වම් පැත්තේ ගෙදරට කවුරු හරි ඇවිදින්ද”

මම පැන්ට්‍රි එකට ඇවිත් කුමාරි ගෙන් ඇහුවා .

“ඔව් බේබි..අලුත් මහත්තයෙක් ඇවිත්ලු..රාණි කිව්වේ ”

කුමාරී කිව්වේ උවමනාවෙන් නොවේ .

“ඇත්තද ..ආයෙම වැම්පයර් කෙනෙක්ද දන්නේ නැහැ …මේ පාර සාතන්…බුහ්හා….”

මම හිනාවෙවී කුමාරිගේ ඇගට පනිද්දී කුමාරී තිගැස්සුනා .

“බේබි නරකයි..මාව බය කරනවා ”

කුමාරී කිව්වේ නුරුස්නා හඩින්

“හරි කෙල්ලේ මේ මං ඉන්නේ ..මම ඔය මොන යකෙක්ටවත් බය නැහැ ”

මම කිව්වේ වීරයා වගේ

“අනේ යන්න බේබි යන්න ..පහුගිය දවස් වල බැල්කනියට ගියේ නැහැ .එලියට ගියේ නැහැ ..හැමතැනම සුදුළූණු දාලා..එච්චර බය බේබී කොහොමද මාව ආරක්ෂා කරන්නේ ”

කුමාරී කියද්දී එයා මගේ අතට දුන්න චොක්ලට් මිල්ක් එක මට උණුවෙන්ම නාන්න හිතුනා..

“හරි..හරි…අද අප්පච්චි එනවා කුමාරියෝ…රසට කන්න හදන්නෝ…”

මම එහෙම කියලා හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහගෙන ඇදට පැන්නේ සිංදුවක් අහන්න.
ඒත් එහි වාදනය වුන සිංදුව පුරාම මට මතක් වුනේ අර නම නොදන්නා අසල්වැසියාව…එයා කියන විදියට මම එයාව අවුල් කලාද…එහෙම කිව්වේ ඇයි..
ඔය විකාර ගොඩාක් කල්පනා කරන අතරේ කුමාරී මගේ පිටට තට්ටුවක් දාලා ඔඩොක්කුවෙන් තිබ්බේ ලියුමක් ..දෙවියනේ ගිම්හානගේ අකුරු …මම ලියුම කියෙව්වා.

අපි දෙන්නාව ඉන්ටර්විව් කෝල් කරලාලු ..ලබන පහලොව මාව බලන්න ගිම්හාන එනවාලු ..ඉන්ටර්විව් දහ හත…

අද අප්පච්චි එනවානේ ..කොහොම හරි මේකට කැමති කර ගන්න ඕනී. නැත්තම් ඔක්කොම ඉවරයි..

“කෝ මගේ සුදු දෝණි, ඇයි මැණික මේ හවස නිදි”

අප්පච්චිගේ හඩින් මම අවදිවුනේ තිගැස්සිලා ..

“ප්ලීස් අප්පච්චි තව ඩිංගිත්තක් දොයියන්න දෙන්නකෝ”

මම නිදිමතේ කිව්වේ මම නිදාගෙන ඉන්නකොට ශක්කරයාගේ පුතා වයිමා ආවත් මම නැගිටින්න කැමති නැති නිසා.

“එහෙනම් මම යනවා දෝණි”

අප්පච්චි එහෙම කිව්වත් මම දන්නවා යන්නේ නැහැ කියලා .ඉතින් මම හෙල වුනේවත් නැහැ .

“හොදයි මම මේ ටිපිටිපි එකත් අරන් යනවා ”

අප්පච්චි කියද්දී මම කරන්ට් වැදුනා වගේ ඇදෙන් පැන්නා. ටිපිටිපි දෙවියනේ එතැන හිතන්න දෙයක් තියෙනවා .ඔය වගේ වටිනා භාණ්ඩ සාමාන්‍යයෙන් පණපිටින් මේ දොරෙන් එලියට යන්නේ නැහැ .

“ඔය අගේට නැගිට්ටේ මගේ හොර කෙල්ල”

අප්පච්චි මගේ කන් පෙත්තක් ඇල්ලුවේ නොරිදෙන්න.

“කෝ අනේ ටිපිටිපි එක..”

මගේ ඇස් ගේ පුරා දිව්වේ ටිපිටිපි හොයන්න.

“ඉස්සරහා මේසේ උඩ ඇති පුතේ…අප්පච්චිට වඩා ටිපිටිපි ලොකු වුනේ කවදා ඉදන්ද”

අප්පච්චි ඇහුවේ ඇස් නලලේ තියන්..

“මේකනේ අප්පච්චි මගේ රං කිරි කට ගෑවේ කවුද ”

මම ටිපිටිපි කවරයක් අරන් ඇවිත් අප්පච්චි ලගින් වාඩිවුනා .

“ඇයි..ඇයි…කිරි අම්මා”

අප්පච්චි කිව්වේ මොකුත් හිතාගන්න බැරුව..

“අන්න..වැරැද්ද එයාගේ ”

මම තව ටිපිටිපි අහුරක් කටේ දාගත්තා .

“මොකක්?”

අප්පච්චිගේ ඇස් නලලේ දැන්..

“මේකනේ අප්පච්චි ..කිරි අම්මා රංකිරි මගේ කටේ ගාලා තියෙන්නේ කපුටු නැකතක…ඉතින් මම කෑමට පළමු තැන”

මම කියද්දී අප්පච්චිට හිනාගියා.

“දෝණි කිරි අම්මාට හිනාවෙවී ඉන්නකෝ අන්න එයා ඔයාට මනමාලයෙක් හොයනවා”

අප්පච්චි එහෙම කියද්දී මට ඉස්මෝල්ලේ ගියා.

“අයියෝ අප්පච්චි මට තාම විසි හතරයි…තාම චුටියි.”

මම අප්පච්චිගේ උරහිස්සට ඔලුව තියලා කිව්වා.

“හොද චූටී …”

අප්පච්චි මගේ කොණ්ඩේ අවුල් කලා.

“අප්පච්චි”

මම මිමිණුවා .

“හ්ම්”

ඒ අප්පච්චි ..

” අප්පච්චි වලව් කියන කණ්නාඩි කුට්ටමෙන් එලිය ලෝකය දකිනවානේ..මම ජොබ් එකක් කරන්නද”

මම අහද්දී අප්පච්චි හිනා වුනේ සැහැල්ලුවෙන් ..එහෙම තමයි මගේ නිශ්ශංක කොල්ලා..

” ඒක තමා දෝණි මම ආවෙත් අන්න ඔයාට ගැලපෙන ජොබ්ස් වගයක් ගැසට් කරලා”

අප්පච්චි කියද්දී මගේ මූණ ඇද වුනා.

“අයියෝ අප්පච්චි ..ඒවා ලෝකල්නේ..අපෝ මට බැහැ මෙහේ තියෙන ගිලා බහින කදු හාරන්න..මම යටවෙලා මැරෙයි අප්පා…”

මම කිව්වේ දුකෙන් වගේ ..

“එහෙනම් ඉන්ට්‍රනැෂනල් ඒවාට ඇප්ලයි කරන්න ..”

අප්පච්චි කිව්වේ හිනාවෙවී .

“යන්න දෙනවාද මට”

මම අහද්දී අප්පච්චි ඔලුව වනලා ඔව් කිව්වා..මම කිව්වේ මගේ නිශ්ශංක බුවා එල කොල්ලෙක්..මම අප්පච්චිට උම්මා එකක් දුන්නා.

“අප්පච්චි ගයියා එනෝ පහලොව ..දාහත අපිට ඉන්ටර්විව් එකක්..එතකම් එයා මෙහේ..ඒ දවස් තුන අප්පච්චිට පුළුවන්ද රෑට මෙහේ ඉන්න එන්න.”

මම අහද්දී අප්පච්චි මගේ ඔලුව අතගෑවා .

“මම එන්නම් පුතේ”

ඔහු කිව්වේ සෙනෙහසින්..

“ඒක ඉන්ට්‍රනැෂනල් ඔපචුනිටි එකක් අප්පච්චි හරි ගියොත් මාව බේරගන්න ”

මම කියද්දී අප්පච්චි ආයෙමත් පුදුමයෙන් මං දිහා බැලුවා .

“කාගෙන්ද පුතේ”

මොහොතකින් ඔහු ඇහුවා .

“අර කිරි අම්මා කියන ටකෙන් අනේ”.

මම කියද්දී අප්පච්චිට ඉතින් හිනා…මෙයා එයාගේ පුතා කියලා හිතන්න බැරි තරම් සැහැල්ලු චරිතයක් ..කිරි අම්මා නිසා තමයි මම මේ කැත බෙර ගෙඩියක් බෙල්ලේ එල්ලන් ඉන්නේ …

…..

අප්පච්චි උදේ ගියාහම මම බැල්කනියට ආවේ ඕපාදූප හොයන්න …වම් පැත්තේ ගෙදරට ආවේ කවුද…මම බැල්කනියට එද්දී කොල්ලෙක් බැල්කනියට වෙලා ඈත බලාගෙන ඉන්නවා ..හම්මේ මෙයාගේ ලස්සන ..පුදුම ආකර්ෂණයක්..දෙවියනේ ඇයි මෙච්චර ලස්සන කොල්ලෝ මගේ වටේ මවලත් මම තාම තනිකඩ…

“නාදි”

ඒ හඩින් මාව තිගැස්සුනා .

කඩවසම් ඔහු කවුද?

“ඔයා මාව දන්නවාද ”

මම අහද්දී ඔහු තිගැස්සුනා .

“නැහැ…ඔයා දැක්කාහම මට නිකන් කියන්න හිතුනා…මම විවේක්…..මේ ලස්සන කෙල්ල කවුද ආ…”

ඔහු ඇහුවේ මාර ලෙන්ගතුකමින් ..මට එයාව හිතට ඇල්ලුවා ෆෙන්ස්..හැබැයි දකුණු බැල්කනියේ හිටපු වැම්පයර් තරම් හිතට ඇල්ලුවේ නැහැ කියහන්කෝ …

“මම නිම්නාදි”

මම කියද්දී ඒ ඇස් තිබුනේ මගේ බෙල්ල ගාව ..

“මොකද්ද අනේ ඔය බෙල්ලේ තියෙන බෙරේ…කැතයි අප්පා”

විවේක් කියද්දී මගේ අත ගියේ බෙල්ලට.. සන්තෝ මූ මේ කියන්නේ කිරි අම්මා මගේ බෙල්ලේ එල්ලුව බෝම්බේ ගැන..අපේ කිරි අම්මාට කියලා අවසන් ගමන් යන්න හිතිලාද මන්දා මූ මගේ ඔලුවට මේ වගේ අදහස් දාන්නේ ..

“ආහ්…ඒක ගලවන්නේ නැහැ මං ..මගේ ඇස්වහ යන්න දාලා තියෙන්නේ ..”

මම බොරුවක් කිව්වා.

“මේ අපි යාලුවෝ වෙමුද ”

විවේක් ඇහුවා ..මම ඇස් ලොකු කරලා බැලුවා මේ නිම්නාදිගේ යාලුවෙක් වෙන්න ලේසියෙන් බැහැ .ගොඩාක් සුදුසුකම් ඕනා.මෙයා ඕවා දන්න එකක්‍ යෑ. ගනන් උස්සන්න ඕනී මං….

“බලමු .ඇප්ලිකේෂන් එකක් එවන්නකෝ..ප්ලීස් ”

මම එහෙම කියලා ගෙට යද්දී පිස්සු විවේක් මං දිහාම බලාගෙන ඉන්නවා මම දැක්කා…දැක්ක ගමන් යාලුවෙන්න ඌ හිතන් ඉන්නේ කවුරු කියලද..මහා සෙවල යකෙක්…ඌ මං දිහා බැලුවේ කන්න වගේ..මෝඩයා..

….යලි හමුවෙමු ආයෙත් ඒ ආදරය සමගින් …….

යලි අවදිවු උරුමකරු 8 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි