ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 9

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 9

ඇයගේ ආදරයෙන් අවදි වෙන ඔහු හා ඇය යලිත් බැදේවිදී සුපුරුදු සෙනෙහසින්?

දවස පුරා වෙහෙස වී සිටින අම්මලාගේ රසාස්වාදය වෙනුවෙන් හැමදාම රාත්‍රියට නවකතා මාලාවක් ගෙන එන්න අපි හිතුවා. එහි පළමු පියවර ලෙස මා විසින් රචිත නවකතාවක පළමු කොටස  යලි අවදිවු උරුමකරු 9 කොටස ලෙස ඔබ වෙත ගෙන එනවා. මේ ආදරණිය කථාව එක්ක අප හා දිගටම රැදි සිටින්න. යලි අවදිවු උරුමකරු 9 කොටස ඔබත් බලන්න.

යලි අවදිවු උරුමකරු 9

“ඔයා කවුද …බැහැ ගෙට යන්න දෙන්න”

කුමාරී කාටදෝ බනිනවා ඇහිලා මම අනිත් පැත්ත හැරිලා නිදාගන්න හැදුවා..මොන මල වදයක්ද මන්දා නිවාඩු දවසකවත් නිදාගන්න නැහැ ..නිවාඩු දවසක්? දෙවියනේ අද සෙනසුරාදාද?15ද? ඒ කියන්නේ ගයියා? මම ඇදෙන් පැනලා දිව්වේ මූණ හෝදන්නෙවත් නැතුව ..ඔව් එතැන කුමාරි එක්ක ගේම ඉල්ලන්නේ මගේ ගයියා ..මට ඔක්කොම අමතක වුනා

“ඒයි ගයියා ”

මම දුවගෙන ගිහිල්ලා ගිම්හානගේ බෙල්ලේ එල්ලුනා. කොල්ලා බෑග් එක බිම තියලා සැහැල්ලු හුස්මක් ගත්තේ එතකොට ..එතකන් මුන් දෙන්නා මරා ගත්තානේ..

“නයිස් මගේ බෙල්ලෙන් බැහැපං…චීයා කුණුකෙල”

ගිම්හාන කිව්වේ එක අතකින් මූණ පිහින ගමන්..කුමාරී අපි දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා .

“කුමාරි මේ මං එනවා කියලා කියපු මහත්තයා .විසිටර් රූම් එක පෙන්නනකෝ..මම ටාර් ගාලා එන්නම්”

මම කියද්දී කුමාරිගේ මූණ ඇදවුනා .

“බේබි..අනේ”

කුමාරී එහෙම කියද්දී මම ඇය දිහා බැලුවේ පුදුමයෙන් ..

“මොකද කුමාරී කෙකර ගන්නේ..ඉක්මනට කියන මගුලක් කියනවාකෝ”

මම කිව්වේ නොඉවසිල්ලෙන් .

“බේබි…ගයා කියන්නේ පිරිමි යාලුවෙක්ද”

කුමාරී අහද්දී ගිම්හාන බිම පෙරලිලා හිනා වෙනවා.

“කුමාරි.. මේ ගිම්හාන ..මට ගෑනු යාලුවෝ නැහැ …මම ඉක්මනින්ම එන්නම්..මහත්තයාට කාමරය පෙන්නනවා.”

මම කිව්වේ තදින්..මට කේන්ති යනවා චුට්ටක් අඩු නිසා කුමාරී බයවෙන්න ඇති..

මම ඉක්මනින් කාමරයට පැනලා නාලා ඇදුමක් දාගෙන මේකප් එකකුත් දාගෙන විසිටර් රූම් එක පැත්තට යද්දී කුමාරී තේකක් හදාගෙන බලාගෙන ඉන්නවා ..

“ඕක අරන් එන්න ”

මම එහෙම කියලා කාමරයට යද්දී ගිම්හාන ඇදේ හතර ගාතෙන් දාලා ස්ලැබ් එක දිහා බලා ඉන්නවා . මම එහෙමම ඇදේ අනිත් පැත්තට පැන්නා.

“ඒයි ගයියා මොකද ස්ලැබ් එකේ අවුලක්ද”

මම ඇහුවේ මුනින් අතට හැරිලා..එතකොටයි තාම තේක අතේ තියාගෙන බයවෙලා ඉන්න කුමාරිව මම දැක්කේ..මම තේක තියලා යන්න කියලා අතින් කිව්වා..

“ඇති යාන්තම් නයිස් දැන් නහය තියාගෙන ඉන්න පුළුවන් ..උදේ මම ඇත්තටම බය වුනා.මෝහිනි වගේනේ මගේ බෙල්ලේ එල්ලුනේ”

ගිම්හාන මගේ දිහාට හැරිලා කිව්වා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 9

නාදියා යලිත් අවදිවේවිද නිම්නාදිගේ ආත්මය තුලින්?

“අපරාදේ මං ආවේ..තව චුට්ටෙන් කුමාරි ගෙන් ගුටි කනවා. ෂික්”

මම කිව්වේ යටි තොල හපාගෙන ..ගිම්හාන ඒකට හයියෙන් හිනාවුනා .

“ඉතින් නයිස් කොහොමද ජිවිතේ ..දැක්ක නැති මාස දෙක තුනට කෙල්ල ලස්සන වෙලා ආ….”

ගිම්හාන කියද්දී මම එයාගේ කනක් මිරිකුවා.

“ඒයි…කට…අපි කොහොමත් ලස්සනයි ආ…ජීවිතේ නම් හැන්ඩ්සම් කොල්ලෝ මැද්දේ ඔහේ ගෙවිලා යනවා”

මම කියද්දී ගිම්හාන මම දිහා බැලුවේ පුදුමයෙන් ..මම ඉතින් මගේ අසල්වාසීන් ගැන පුංචි විස්තරයක් කලා.

“හම්මේ ඔවා දන්නවා නම් මම ඔයත් එක්ක මේකට එන්නේ ඔයා මෙහේ අපු පළවෙනි දවසේ…”

ගිම්හාන කිව්වේ ඊර්ෂ්‍යාවෙන්..

“හරි..හරි…යන්කෝ අනේ බැල්කනියට…”

මම ගිම්හානගේ අතින් ඇදගෙන බැල්කනියට ආවා..

“ඉතින් නයිස් මෙතැන මරු ඈ…අපි දෙන්නා දාමුද ටයිටැනික් වගේ රොමෑන්ටික් සීන් එකක්…”

ගයියා ඇහුවේ මගේ කම්බුල් දෙක මිරිකලා..මම ඉතින් ඔය වගේ පිස්සු වැඩ වලට එක පයින්නේ …මම ඉතින් රෝස් වගේ ඇගිලි තුඩු වලින් හිටගෙන , ඇස් වහගෙන අත් දෙක දෙපැත්තට දික් කලා. ගිම්හාන මගේ පිටිපස්සෙන් ගිම්හාන හිටගන්නවා මට දැනුනා.

ටික වේලාවකින් මට ඇස් ඇරුනේ කාගෙදෝ අත්පුඩි හඩකට..මම ඇස් ඇරියේ තරහින්..එතකොටත් විවේක් එයාගේ බැල්කනියේ ඉදන් අපේ පැත්ත බලාගෙන හිනාවෙනවා .

“ආහ්..මෙතැන ටයිටනික්ද”

විවේක් ඇහුවේ නොසණ්ඩාල විදියට හිනාවෙලා.

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 9

කඩවසම් ඔහු යක්ෂයාද?

“නයිස් , කවුද බං ඒ කැස්වටුවා”

ගිම්හාන මගේ කනට කරලා ඇහුවා .

“කොල්ලා හැන්ඩියා නිසා තොට ඊර්ෂ්‍යාද”

මම ගිම්හාන ගෙන් ඇහුවේ හෙමින්..

“බෝයි ෆ්‍රෙන්ඩ්ද නිම්නාදි ”

විවේක අහද්දී මම මොහොතක් කල්පනා කලා.මූ මාර කතානේ අහන්නෙ, නැතුව ගිම්හාන ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්යෑ

“ඔව් එහෙම තමයි පේන්නේ ..බැලුවේ නැහැ ”

මම කියද්දී ගිම්හාන මගේ කොණ්ඩෙන් ඇද්දා.

“මොන ලැජ්ජ නැති කතාද ඉබ්බියේ ඔය කියන්නේ ..තොට මොංගල්ද”

ගිම්හාන මගේ කනට කරලා ඇහුවා

“එහෙනම් මම කියන්නම් තෝ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා ..මේ..විවේක්”

මට කියන්න ලැබුනේ නැහැ ගිම්හාන මගේ කට තද කරලා අල්ලගත්තා.

“බේබි කෑම ලෑස්තියි ”

හොද වෙලාවට කුමාරී බැල්කනියට එබුනේ ..

“අපි යනෝ”

මම විවේක්ට අතක් වනලා ගිම්හාන වත් ඇදගෙන ගෙට පැන්නා.

“ගයියා හෙමින් කාපං බං තොට හිරවුනොත් ඉස්පිරිතාලේ අරන් යන්න වෙන්නේ මට”

මම කෑගැහුවා ..ඇයි අප්පේ මූ කනවා කනවා ඉවරයක් නැහැ ..

“අනේ නයිස් මට මේකවත් පාඩුවේ කර ගන්න දීපංකෝ..”

ගිම්හාන කිව්වේ නහයෙන් අඩ අඩ..ඔහු එහෙමම බිත්තරයක් කටේ දාගත්තා.

“අඩේ තෝ බිත්තර ගිලින්නේ අලියා දිවුල් ගිලිනවා වගේ ..උඹ කන්නේ අන්තිම කෑම වේල වගේනේ..මෙහෙම ගියොත් අපේ අප්පච්චිට වලව්වත් උගස් තියන්න වෙනවා..”

මම කෑගහද්දී ගිම්හාන කෑම කටේ තියාගෙනම හිනාවුනා .

“තෝත් එක්ක ඉන්න හැම මීල් එකක්ම අන්තිම එක වගේ තමයි ..කොයි වෙලේ ජිවිතේ නැතිවෙයිද දන්නේ නැහැ ..මේ වලව්ව උගස් තියන්න නෙමෙයි බැරිද තමුසෙගේ කුකු මමී දීලා පරණ බේසමක් වත් ඉල්ලගන්න ”

ගිම්හාන කියද්දී මට හිනාගියා . මම දන්නවා අපේ කිරි අම්මා දීපු වදේ හැටියට ගිම්හානට එයාව වහ කදුරු වගේ කියලා ..

“අඩේ ගයියා පල් වැඩ කරන්න එපා..අපේ කිරි අම්මා අරන් ගියොත් ඒ බෝතල් පත්තර කාරයා ඉවරෙටම ඉවරයි..ෆිනිෂ්”

මම කිව්වේ උඩ පැන පැන හිනාවෙවී . ගිම්හාන හවස චුට්ටක් නිදාගන්න ගියා.
මම හිටියේ මගේ කාමරේ සිංදුවක් අහ අහ..

“බේබී”

කුමාරී මගේ කාමරේ දොර ලග,,මූණ බෙරිවෙලා..

“ඇයි කුමාරී ”

මම ඇදෙන් බැහැලා කුමාරී ලගට ආවා.

“අර ආපු මහත්තයා අමුතුයි ..මට සින්ඩරෙල්ලා කියනවා”

කුමාරී කියද්දී ගිම්හානගේ කටේ තරම දන්න මට හිනාගියා .

“ආහ්..ඕකද..ඒ මහත්තයා පුංචි කාලේ ඔලුව බිම වැදිලා ..පව් වැඩේ කුමාරී ඔලුව ටිකක් හොද නැහැ ..කන් ඇහෙනවාත් අඩුයි..චුට්ටක් හයියෙන් කතා කරන්න ..ඒ වගේම පරිස්සම් වෙන්න බදාගන්න බැරිත් නැහැ .”

මම මාර සිරා පිට කිව්වා..අම්මේ කුමාරිගේ මූණ බලන්න වටිනවා. ඇස් කටේ..කට කනේ..එක විකාරයයි..

“මට බයයි බේබී”

කුමාරී කියද්දී මම යටි හිතින් ප්ලෑන් කලේ හෙට පට්ට ෆන් එකක් ගන්න පුළුවන් ප්ලෑන් එකක් ගැන ..

“අනේ විකාර නැතිව ඉන්නවා කුමාරියෝ..ඔන්නම් අත චුට්ටක් අල්ලයි. ඊටපස්සේ මෙන්න මෙතැන්ට උම්මා එකක් දෙයි”

මම කිව්වේ කුමාරීගේ දෙතොල් පෙන්නලා…කුමාරී හොදටම බයවෙලා .

රෑ අප්පච්චි ආහම මායි, ගිම්හානයි ඩිනර් එක ගත්තේ අප්පච්චි එක්ක.

“පුතේ ඔය කියන ජොබ් එක ෂුවර් තැනකද”

අප්පච්චි ඇහුවේ ඉදිආප්ප බෙදාගන්න ගමන්.

“ඔව් අංකල්..මේක ඊජිප්තුවේ ලොකු ප්‍රොජෙක්ට් එකක්..තේරූනොත් ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන ප්‍රොෆිසර් ලංකාවට ඇවිත් ටීම් එකත් එක්ක ටූ වීක්ස් වැඩ කරනවාලු..ඊටපස්සේ එයා සිලෙක්ට් කර ගන්න අයත් එක්ක එහෙමම ඊජීප්තුවට යනවාලු..මාර ඔපචුනිටි එකක් අංකල්”

ගිම්හාන එහෙම කියලා සම්බෝල මැදට තියපු ඉදිආප්ප දෙකක් කටේ තියාගත්තා .හම්මේ මූගේ කෑම ..යකෝ ඔහොම කෑවොත් අපේ අප්පච්චි දුප්පත් වෙයි.මම ගිම්හාන දිහා රවලා බැලුවා . අප්පච්චි නම් හිනාවෙවී කෑවා.

ඊටපස්සේ මම එහෙමම ඇදට පැන්නේ අද දවල් නිදාගන්න බැරිවෙච්ච හින්දා තෙහෙට්ටුවෙන්..කොයි වෙලාවේ නින්ද ගියාද මන්දා .

“බුදු අම්මෝ”

කුමාරිගේ කෑගැහිල්ලෙන් මම ඇදෙන් පැන්නා නෙමෙයි වැටුනා.. මම එහෙමම පැන්ට්‍රි එකට දිව්වා..මේකී අතක් වත් කපා ගෙනද..මම පැන්ට්‍රි එකට යද්දී කුමාරී ක්ලාන්ත වෙලා..ඒකත් ගිම්හානගේ අත් දෙක උඩ..

“ගයියා මොකද මේ..උඹ මේකීට මොකද කලේ”

මම ඇහුවේ ඉනට අත් දෙක තියන්..

“කියන්නම් දෙයියෝ..ඉස්සෙල්ලා මේ පිටි මුට්ටේ කොහෙන් හරි තියන්න උදව් කරපං”

ආත්මීය ආදරයක පුණරාගමනය: යලි අවදිවු උරුමකරු 9

දගකාරිය ඇයයි

ගිම්හාන කිව්වේ අසරණ හඩින් ..මම ගිම්හාන එක්ක උදව් වෙලා කුමාරිව සැටිය උඩින් තිබ්බා. ඊටපස්සේ මම වතුර වීදුරුවක් ගිම්හාන අතින් තිබ්බේ එයා තාම තක්බීර් වෙලා ඉන්න නිසා. මමත් ටැප් එකෙන්ම හීතල වතුර එකක් අරන් බිව්වා.

“කියනවා ඉතින්”

මම ඇහුවේ සැරෙන්..

“මේකයි නයිස්..මට පාන්දර ටී එක ඕනීනේ ..මම ඉතින් පැන්ට්‍රි එකට ආවේ ටී එකක් හදාගන්න ”

ගිම්හාන තටමනවා.

“ඉතින්”

මමත් අත ඇරියේ නැහැ .

“ඉතින් මම තේක අරන් හැරෙද්දී මේ ගැනි ඉන්නවා සුදුමැලි වෙලා. අසනීපයක් කියලා හිතලා මම තේක තියලා ලගට ගිහින් අතක් අල්ලලා කතා කලා..එකපාරටම යටිගිරියෙන් කෑගහගෙන මගේ ඇගටම කලන්තේ දාලා වැටුනා “.

ගිම්හාන කියද්දී වෙලා තියෙන දේ මට හිතාගන්න පුළුවන් වුනා. මම තොල් පටක් හපාගෙන හිනාව තද කර ගත්තා. මම හෙමිහිට බැලුවේ ඔරලෝසුව දිහා.වේලාව උදේ දහයයි. අප්පච්චි ගිහින් ඇති..එයා ඉතින් උදේ හය වෙනකොට ඔෆිස් දුවනවානේ..

“ගයියා වරෙන් මේ කෙල්ලට සිහිය ගමු. හැබැයි වැරැද්දක් වෙලා නම් උඹ මේකීව බදින්න ඕනී.”

මම හෙන සිරා මූඩ් එකක් අරන් කිව්වා.

“අයියෝ නයිස්..උඹ යන්නේ අහක යන හැපින්නියක් මගේ රෙද්ද අස්සේ දාන්නද..අත විතරයි ඇල්ලුවේ බං..”

ගිම්හාන ඉතින් නහයෙන් අඩනවා. මම වතුර එකකින් චුට්ටක් අරන් කුමාරිගේ මූණේ ගෑවා..කුමාරී හෙමිහිට ඇස් ඇරියා .

“බේබි…මෙයාට යන්න කියන්න ..යනවා..යනවා ”

කුමාරී ගිරිය කඩාගෙන කෑගහනවා. ඒ ශබ්දේ කොච්චරද කියනවා නම් මම විතරක් නෙමෙයි ගිම්හානත් කන් වහගත්තා .

“හෙමින් කතා කරපං ගෑනියේ..එපාර්ට්මන්ට් එකම මෙහෙට එයි”

මම කියද්දී කුමාරී මං දිහා බැලුවේ ඇස් ලොකු කරලා.

“බේබිනේ කිව්වේ මේ මහත්තයාගේ කන් ඇහෙන්නේ නැහැ කියලා.”

කුමාරී ඊටපස්සේ කිව්වේ නෝක්කඩු හඩින්, මට බකස් ගාලා හිනාගියා .
ගිම්හාන මං දිහා බලාගෙන හිටියේ මාව අනුභව කරන්න වගේ ..

“නයිස් තෝ මොනවාද මං ගැන මේ ගෑනිට කිව්වේ ”

ගිම්හාන මගේ බෙල්ලෙන් අල්ලගත්තා .

“ආව්…සිදෙනෝ”

මම කෑගැහුවත් මේකා නෙමෙයි මගේ බෙල්ල අත ඇරියේ..

“අනේ ගයියා..මම කිව්වේ උඹ මාර ටැලෙන්ටඩ්, හරිම හැන්ඩියා..පර්ෆෙක්ට් මෑන් කියලා ”

මම බොරු ගොන්නක් කියද්දී කුමාරී කට ඇරගෙන බලාගෙන හිටියා .
ඒ එක්කම දොරට තට්ටු කරන හඩක් ඇහුනා. ගිම්හාන මගේ බෙල්ල අත ඇරලා මගේ දිහා බැලුවේ කවුද අහන්න වගේ ..මම උරහිස් උස්සලා කිව්වේ දන්නේ නැහැ කියලා ..

…….යලි හමුවෙමු ඒ ආදරය සමගින්……..

යලි අවදිවු උරුමකරු 9 කොටස  කියෙව්වාද?

ඔන්න අම්මා, ඔයාලා මේ ආත්මගත ආදරය සමග දිගටම එකතු වෙන්න.

ඇල්බම් එකට

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි