අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

ඔබේ දියණිය නිසැකවම දිනයක නව යොවුන් වියට එළඹෙනු ඇත. යොවුන් වියේ ආදරයේ රැල්ලට අසු නොවී සිටීමට අවශ්‍ය ශක්තිය දියණියට ලබාදීම අම්මාගේ වගකීමයි.

ආදරය, ප්‍රේමය සාලිය අශෝක මාලාටත් ඈත අතීතයේ සිට නව යොවුන් හදවත් මුසපත් කරමින් ආදරණීය කථාවන් අතීතයට එක් කරමින් බොහෝ දුරක් ගෙවා ගෙන අද දක්වා පැමිණ තිබේ.

අතීතයේ ආදරය ලෙස හදවතින් බැදුන නව යොවුන් ආදරය අද ඊට බොහෝ ඔබ්බට යමින් විවාහ නොවී යුගදිවියක් ගත කරන තරම් ලිංගිකත්වය විසින් ආක්‍රමණය කර තිබෙනවා.

ඉතින් මේ ආදරය ගැන එහි වෙන්න පුළුවන් වැරදි ගැන මට සමස්ථ දියණිවරුන්ටම යමක් කියන්න අවශ්‍ය වෙනවා.

යොවුන් වියේ ආදරය ගැන ආදරණීය කථාවක් නම් නොවේ.

ඒ යොවුන් වියේ ආදරයේ සැබෑ පැතිකඩයි. මගේ පුංචි දුවත් දවසක නව යොවුන් වියට ආහම මම මේ දේවල් ටික කියන්න බලාපොරොත්තු වෙනවා.

ආදරණීය නව යොවුන් දියණියේ,

මට ඔබට කියන්න වැදගත් දෙයක් තියෙනවා.

ආදරය, ප්‍රේමය සෑම මිනිසෙකුටම පොදු හැගීමක් , ඒක මම පිළිගන්නවා.

ඒ මොකද මමත් අතීතයේ දවසක ප්‍රේමවන්තියක් වුනා. ඔයත් අනාගතයේ දවසක ලස්සන , ආරක්ෂිත ආදරයක් සැමියෙක් හොයා ගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න ඕනී. ඒක අම්මාගේ ආදරණීය හීනයක්.

ඒත් තවම ඒකට කාලය නොවේ. නව යොවුන් විය එළඹෙන්නේ ඔබට මේ ලෝකයට පය තබන්න පාර වටහා ගන්නයි. ලෝකය හදුනාගන්නයි.

නමුත් ඔබ එයට පෙර ආදරයේ මායාවක වැටුනහොත් හරි වැරැද්ද තේරූම් ගන්න බැරිව අතරමං වේවි.

අපි ඉන්න පෙරදිග සංස්කෘතිය තුල පවුල් සංස්ථාවට මුල්තැනක් ලැබෙනවා.

අන්න ඒක නිසයි ඔයාටත් මේ  වගේ සුන්දර පවුලක්  ලැබුනේ, ඉතින් ඒ වගේ සුන්දර පවුලක් ඔයාටත් ගොඩනගා ගන්න ඔයාට සුදුසු වයස එළඹෙන්න ඕනී.

අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

හැබැයි ඒ සුදුසු වයස ඔයාගේ පාසැල් විය නම් නොවේ.

අන්න ඒක ඔයා හොදින් හිතේ තබා ගනිවි කියලා මම බලාපොරොත්තු වෙනවා

පාසැල් වියෙන් පස්සේ ඔයාට ප්‍රේමයට විවාහ ජිවිතයට ලස්සන කාලයක් උදාවේවි.

එතකම් ඔයා හොදින් ඉගෙන ගෙන ලස්සන අනාගතයක් හදාගන්න අවශ්‍ය වෙනවා.

හොද ආර්ථික මට්ටමක් තියෙනවා නම් ආදරේ කොහොමත් සුන්දරයි.

නැති බැරිකම් එක්ක දුක්විදිද්දි ආදරය විදින්න තියෙන ඉඩ දුක වේදනවා අහුරනවා.

කතාවටත් කියන්නේ දුප්පත් කම ඉස්සරහා දොරින් ගෙට ගොඩවෙන කොට ආදරය පෑල දොරින් පැනලා යනවා කියලා.

සියල්ල අහිමි කරගත් පසු කලකිරි වැඩක් නැහැ.

ඔබ තවත් පටාචාරාවක් නොවිය යුතුයි.

ඒක නිසා පළමුව ඔබ ඔබේ ජිවිතය එළිය කරගත යුතුයි.

ද්විතීයික ලිංගික ලක්ෂණ පහල වීමත් සමග විරුද්ධ ලිංගිකයන් වෙත ඇදි යෑම සාමාන්‍යයි.

ඔයාවත් එහෙම ඇදිලා යන්න හදන අවස්ථා ජිවිතය තුල එළඹෙන්න පුළුවන්

ඒත් මගේ දුවේ ඔයාට හොද නරක තේරෙනවා නේද?

නව යොවුන් ආදරය පේන තරම් සොදුරු නැහැ.

අම්මාගෙන් නව යොවුන් දියණියට ප්‍රේමය ගැන පාඩමක්

සමහර විට ආදරයක් පහල වෙන්නත් පුළුවන්. ඒත් තාම ඔයාගේ සුදුසු වයස එළඹිලා නැති බව පමණක් මතක තබාගන්න.

මට දවසක් ඔයාගේ තාත්තා කියපු කථාවක් මතක් වෙනවා.

  • එදා එයා කිව්වා කෙල්ලෝ දාහතේ දහ අටේදී ලස්සන කොල්ලෙක් නැත්තම් කුමාරයෙක් එනකම් බලන් ඉන්නවා කියලා.
  • විසිගණන් වලට එද්දී සල්ලී, බලය, රැකියාව තියෙන කොල්ලෙක් හොයනවා කියලා.
  • ඊට පස්සේ වයස තිස් ගණන් පැන්නොත් අහුවෙන ඕනෑම කෙනෙක් බදිනවා කියලා.

ඒක ඇත්ත කියලා අද මං දකිනවා.

අපේ ආදරයේ අවශ්‍යතාව අපේ ජීවිතයේ අවශ්‍යතාවයන් සමග බැදිලා තියෙනවා.

අන්න ඒක නිසයි  ඔබ යොවුන් වියේ තෝරගන්න ආදරය නිවැරදි නැහැ කියලා මේ අම්මා කියන්නේ.

දුවේ ආදරය කියන්නේ අතින් අල්ලන් ඇවිදින එකවත්, එස් එම් එස් දාස් ගාණක් යවන එකවත් නෙවී.

ආදරය කියන්නේ රූම් ගානේ ගිහින් ජීවිතය අදුරු කර ගන්න එකත් නෙවී.

සමහර විට ඔයා හිතන්නෙවත් නැති මොහොතක ඔයාගේ ලස්සන හුරුබුහුටි ජිවිතය වෙනස් වෙලා යන්න පුළුවන්.

ජීවිතය වරදින්න යන්නේ මොහොතයි. ඒ මොහොතට ඉඩ දෙන්න එපා කියලයි මේ අම්මා කියන්නේ

ඔයාගේ අම්මාටත් පාසැල් වියේ ප්‍රේමය හොදයැයි හිතුන දවසක් තිබුනා. ඒත් බුද්ධිමත් තීරණයක් අරගෙන ආදර රැල්ලට නොයා හිටියා.

අන්න ඒ හින්දා තමයි සුදුසු වයසේදී ගැලපෙන ආදරයක් හරි අවබෝධයකින් හොයා ගන්න පුළුවන් වුනේ,

දුවේ නාඹර වියේ ඔයා පසුපස පන්නන ආදරය  ඔයා හිතන තරම් සුන්දර නැහැ. ඔන්න ඔතැනදී වැරදුන අය හුගක් අය මම දැකලා තියෙනවා.

සමහරු නම් ජීවිතය කොහොම හරි ගලපගත්තා. සමහරු ජීවිතය විනාශ කරගත්තා.

දියණියගේ මල්වර වීම

දුවේ ඔයා දන්නේ නැති වුනාට පාසැල් වියේ ගැබ්ගෙන අසරණ වෙන දියණිවරුන් අනන්තවත් අපේ සමාජයේ ඉන්නවා.

එයාලට අවසානයේදී ඉගනීමත් නැති වෙනවා. එපමණක් නොවේ සමාජයේ පිළි ගැනීමත් නැති වෙනවා.

සමහරුන් දරුවන් එක්ක අසරණ වෙනවා.  සමහරුන් දරුවන් නිතීවිරෝධි ලෙස ගබ්සා කරගන්න ගිහින් ජිවිතයෙන් වන්දි ගෙවනවා.

ඔයාට මම මේ කියන කතාව තේරූම් ගන්න මම මේ දෙන උදාහරණම ඇති නේද?

ඔයා අනාගතය වෙනුවෙන් ලස්සන අඩිතාලමක් දාන පාසැල් වියේදී ආදරය නිසා ඒ අනාගතයම විනාශ කරගන්න එපා.

ඔය වයසේදී පටන් ගන්න ආදරය කල වයසට එද්දී ඔයාටම වදයක් වෙන්නත් පුළුවන්.

ඔයා වෙනුවෙන් හැමදෙයක්ම කැප කරපු මං ඉන්නවා , තාත්තා ඉන්නවා අපිට ඔයාගේ ඔය අයාලේ යන්න හදන ආදරයෙන් බිදක් දෙන්න.

අපි ගාවත් ඔයා වෙනුවෙන් ආදරය පිරෙන්න තියෙනවා. අපි ඒ ආදරය හැම මොහොතකම ඔයාට දෙන්න බලා ගෙන ඉන්නවා

අපිට ඔයා වෙනුවෙන් ඔන කැප කිරීමක් කරන්න පුළුවන්.

ඒ නිසා නව යොවුන් වියේදි ඔයාට අපේ ආදරයෙන් මිදිලා නන්නාදුනනා ආදරයක් වෙත යන්න දෙන්න අපිත් සුදානම් නැහැ.

ඉතින් ඔයාට අපේ තරම් සොදුරු උණුසුම් ආදරයක් ඔය තරම් පුංචි වයසක දී පිටතින් ලැබේවි කියලා මම හිතන්නේ නැහැ.

ආදරය වරදින්නේ පාසැල් වියේදීම කියලා මං කියන්නේ නැහැ.

ආදරය ඕනෑම වයසකදී වරදින්න පුළුවන්. ඒත් ඔයා පාසැල් වියට වඩා බුද්ධියෙන්, අත්දැකිම් වලින් වැඩුනාට පස්සේ ඔයාට හරි ආදරයක් තෝර ගන්න අවබෝධයක් ලැබේවි.

එතකම් මගේ දුව ඉවසීමෙන් කටයුතු කරන්න අවශ්‍ය වෙනවා.

මං,

ඔබගේ රැකවරණය හැම මොහොතකම පතන,

ඔයාගේ ආදරණිය අම්මා

මේ ලිපිය කියවන බොහොමයක් අම්මලාට තමන්ගේ දියණියන්ට කියන්න බොහොම දේවල් ඇති නේද? ඔබේ අදහස් අපි හා බෙදාගන්න.

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

කතන්දර ලිපි