කුළුඳුලේ මව් පදවිය ලද උපේක්ෂා ස්වර්ණමාලිනීගේ අදහස් කිහිපයක්

කුළුඳුලේ මව් පදවිය ලද උපේක්ෂා ස්වර්ණමාලිනීගේ අදහස් කිහිපයක්

"දරුවන්ට අම්මගෙයි තාත්තාගෙයි ආදරේ එක වගේ ලබාදීමත් ජීවිතයේ යථාර්තය කියාදීමත් හරිම වැදගත්."

කුළුඳුලේ මව් පදවිය ලද ජනප්‍රිය නිළියක් වන උපේක්ෂා ස්වර්ණමාලි (Upeksha Swarnamali) ඇගේ මේ අලුත් අත්දැකීමට මුහුණ දෙන්නේ කොහොමද කියල අපත් එක්ක කියූ ලිපියක් මේ.

ඇය අලුත් අම්මා කෙනෙක් වුනත් ඇයටම ආවේනික ඒත් හුඟක් යථාර්තයට ගරු කරන අම්මා කෙනෙක් බවත් ඇය මව් පදවිය ගැන කියූ කතා වලින් අපිට වැටහුණා.

ජනප්‍රිය නිළියක් වුනත් මාතෘත්වයේ හැඟීම් එක සමානයි. උපේක්ෂා ස්වර්ණමාලි ජනප්‍රිය නිළියක් ලෙස නොව හැබෑම අම්මා කෙනෙක් විදිහට මව් පදවියේ වැදගත්කම හා එය ඇයට දැනෙන හැටි විස්තර කළා.

උපේක්ෂා ස්වර්ණමාලිනී සම්ප්‍රදායික ක්‍රමත් නවීන ක්‍රමත් යථාර්තයට අනුව හරි අපූරුවට ගලපා ගන්න අලුත් අම්මා කෙනෙක් බව ඔබට ඇගේ කතාවෙන් තේරුම් ගන්න ලැබේවි.

මව් පදවිය ඇය හසුරවන හැටි ගැන දැක්වූ අදහස් ඔබත් දැනගන්න කැමැති වේවි.

උපේක්ෂා ස්වර්ණමාලි (Upeksha Swarnamali): මව් පදවියේ වැදගත්කම හා එය ඇයට දැනෙන හැටි

"උපේක්ෂා ස්වර්ණමාලිනී

"නවීන ලෝකයේ කාන්තාවක් වුනත් වර්තමානයේ ආහාර පාන ජිවන රටාවන් ගැන ඇය දැනුවත්."

අද අපි කන කෑම බීම වතුර ටික පවා විශ්වාස කරන්න අමාරුයි. ඉතින් එහෙම එකේ දරුවට දෙන්න පුළුවන් විශ්වාසවන්ත එකම ආහාරය මව් කිරි විතරයි. ඉන් අම්මයි බබයි අතර ලොකු බැඳීමකුත් ඇති වෙනවා. ඇය කිව්වා.

"මම දැනුම එකතු කළා."

මං හැමෝම කියන දේවල් ඔවුන්ගේ සිත නොරිදෙන විදිහට ඇහුවා. දැනුම ගත්තා. හැබැයි ප්‍රයෝගික නැති දේවල් මම මේ කනින් අහලා අනිත් කනින් පිට කළා.

මම පළවෙනි තැන දෙන්නේ බබාගේ වෛද්‍යවරයාටයි. මම ඔහු ළඟට ගියහම ප්‍රශ්න වැලක් අහනවා.

එය නොකළ යුතුද කියලා හිතුනත් බබා වෙනුවෙන් නොදන්නා හැමදේම මම අහගන්නවා.

"එදා කළ දේවල් අද කරන්න අමාරුයි."

ඉස්සර වෙනිවැල්ගැට වතුර තම්බලා දරුවා නාවන්න ඉස්සෙල්ලා බිංදුවක් දරුවාගේ කටටත් දානවලු.

ඒත් අද වතුර ගැනවත් අපිට විශ්වාස කරන්න බැහැ. එය වටිනා දෙයක් වුනත් අපිට එය කරන්න බැහැ. යථාර්තය එයයි.

ඉතින් මම සම්ප්‍රදාය අභිබවා යනවා නෙමෙයි.

නමුත් කාලෝචිත නැත්නම් ඒක බැහැර කරන්න මට වෙනවා.

නිතර අපි ජීවත් වෙන පරිසරය හා කාලෝචිත වෙන අලුත් අම්මා කෙනෙක් වෙන්න හිතන එක හරිම වැදගත්.

කුළුඳුලේ මව් පදවිය ලද උපේක්ෂා ස්වර්ණමාලිනීගේ අදහස් කිහිපයක්

"සමහර දේවල් ගැන මට තිබුණ අනිසි බිය නැති වුණා."

දරුවා ඉපදෙන්න ඉන්නකොට සිසේරියන් සැත්කම ගැන මම හුඟක්ම බය වුණා. සමහර අයගේ අත්දැකීම් මාව තවත් බය කළා.

ඒත් මම දැන් ඉගෙන ගත්තා උවමනාවට වඩා මේ එක දෙයක් ගැනවත් වැඩිපුර බයවෙන්න ඕනේ නැහැ කියලා. මොකද දරු ප්‍රසුතිය මම හිතපු තරම් අපහසු වුනේ නැහැ.

ඒ නිසා හැමවිටම අදහස් ප්‍රකාශ වුනත් ඒවා හිතට ගන්නේ නැතිව ඉන්න එක අලුත් අම්මා කෙනෙකුට සුදුසුයි කියලයි මම හිතන්නේ. ඇගේ අදහස් අලුත් අම්මලාට හොඳ සවියක්.

"වාණිජකරණය වුන ලෝකය තුළ දරු ප්‍රසුතියට පෙර විච්චුරන වලට මම මුල්තැන දුන්නේ නැහැ."

කවුරුන් විශ්වාස කරයිද දන්නේ නැහැ.

බබාට කියලා අපි කොට් එකක්වත් ගත්තේ නැහැ. උවමනාවට වඩා බඩු පුරව ගන්නත්, දකින දකින ළදරු නිෂ්පාදන ගෙනත් පුරවා ගන්නත් මම කැමති නැහැ.

එය ආර්ථිකයටත් හොඳ නැහැ. අනෙක් අතට ඉන් අපට සැනසීමකුත් නැහැ.

අපි අපේ නිදාගන්න ඇඳම ලී වැටවල් හදලා ආරක්‍ෂිත ලෙස හැදුවා. බබා නිදියන්නේ මගේ ළඟ, එකට.

හුඟක් අම්මලාට මේ කතාව වැදගත් වේවි. ළදරු නිෂ්පාදන දුටු විට ගන්න හිතෙනවා. ඒවා ලස්සනයි. ඒත් ඇත්තටම අපිට ඒවා වැදගත්ද? දෙපාරක් හිතන එකයි වැදගත්.

උපේක්ෂා ස්වර්ණමාලිනී

"මේ හැමදේම අතරේ මම ගැන හිතන්න." Upeksha Swarnamali

අම්මා කෙනෙක් වුණා කියලා අපි අපේ ආකර්ෂණය නැති කරගන්න කැමති නැහැ. හැබැයි ඊට දරුවාගේ වැඩ කිසිවක් පසෙක දාන්න මම සූදානම් නැහැ.

ඒත් කළමනාකරණය කරගන්න පුළුවන්. මම හොඳ පෝෂණීය ආහාර වේලක් ගන්නවා වගේම හුඟක් වතුර බොනවා. බබා ලැබිලා දැන් මාස හතරක්  විතර නොවුනත් මාව දකින අය පුදුම වෙනවා.

මම ඉස්සර ගානට ඇවිල්ලා කියලා කවුරුත් පුදුම වෙනවා. ඒ වෙනුවෙන් මම වැඩි යමක් කළේ නැහැ. ඒත් ඒ කියලා අපේ ආකර්ෂණය නැති කරගන්නේ නැහැ.

එදා හිටියා වගේ ලස්සනට ඉන්න ඇති කැමැත්ත අපිට තියෙන්න ඕනේ. නැතිනම් සැමියාට වුනත් ආකර්ෂණයක් නැතිව යනවා.

කවුරුත් ලස්සනට ඉන්නවට කැමතියි. බලන්න ආසයි. අනික දවසක අපි ලස්සනට ඉන්නවට අපේ බබා වුනත් ආසයි.

තමන් ගැන අමතක කර දමන අම්මලාට මේ කතාව වැදගත් වේවි.

දරුවා වෙනුවෙන් කැප වුනත් තමන් ආකර්ෂණිය ලෙස ලස්සනට ඉන්න මහන්සි වීමේ වරදක් කොහෙත්ම නැහැ.

Upeksha Swarnamali

"දරුවා ස්වාධීන වෙනවට මං කැමතියි." Upeksha Swarnamali

ඉන් අදහස් කරන්නේ එයාව ඔහේ අතාරිනවා කියන එක නෙමෙයි.

හැම විටම මම එයා දිහා දුරින් ඉඳන් බලාගෙන හිටියත් පුංචි පුංචි දේවල් එයාට හුරුකරවන එක එයාගේ වර්ධනයට හොඳයි කියලයි මම හිතන්නේ.

නැතිනම් එයා සමාජයට ගියහම අතරමං වෙන්න පුළුවන්.

හැමදේම දෙමාපියන් විසින්ම ඉටු කර දීමෙන් දරුවන් ස්වාධීන නොවන බව මනෝ වෛද්‍යවරුන් පවා පිළිගන්නවා.

එය දරුවන්ගේ වර්ධනයට හා පෞර්ෂය වර්ධනය අඩාල කරන බව ඔවුන් පවසනවා. ඉතින් ඇගේ මේ අදහස අම්මලාට හුඟක් වැදගත් වේවි.

"බබා ලොකු වෙනකොට ලෝකය ගැන ටික ටික කියා දෙනවා."

මට අවුරුදු තුනේදී මගේ දෙමාපියන්ගේ වෙන්වීමට සිදුවුණා. මම හැමදාමත් ප්‍රර්ථනා කරන්නේ දරුවෙකුට දෙමාපියන්ගේ වෙන්වීම නම් සිදුවෙන්න එපා කියලා.

මගේ බබාට එවැනි අත්දැකීමක් නොවිඳින්න මම හැමවිටම කටයුතු කරන්න උත්සාහ කරනවා.

අම්මගේ තාත්තගේ ආදරේ හැම වයසකදීම දරුවෙකුට අවශ්‍යයි. එය එක් එක් අවධීන් වලදී වෙනස් වුනත් ආදරය අවශ්‍යයි.

Upeksha Swarnamali

"හොඳ පුරවැසියෙක් කරන්න යහපත් දරුවෙක් ලෝකෙට දායාද කරන්න මම හුඟක් ආසයි."

මම නිතරම හිතට එකඟව වැඩකරන්න කැමති කෙනෙක්. මගේ බබාටත් ඒ දේවල් උගන්වන්න සමාජය ගැන කියාදෙන්න මම මගබලාගෙන ඉන්නවා.

විශේෂයෙන් ළමා අපචාර වගේ දේවල් නිසා දරුවන් දුක්විඳින හැටි, දෙමාපියන්ගේ වැරදී නිසා දුක්විඳින හැටි මම දැකලා තියෙනවා.

ඒ නිසා දරුවන්ට නිතර ඔවුන්ගේ සීමාවන් වටහා ගන්න උගන්වන එක අපේ වගකීමක්.

වගකීම් හරිහැටි තේරුම් ගැනීම අලුත් අම්මා කෙනෙකුට හුඟක් වැදගත් බව උපේක්ෂා තවත් තහවුරු කළා.

අලුත් අම්මා කෙනෙක් වුනත් උපේක්ෂා ස්වර්ණමාලිනී දැනුමෙන් පරිනත වෙමින් යහපත් දරුවෙකු ලෝකයට දායාද කරන්න ආසාවෙන් ඉන්නවා.

අපේ අලුත් අම්මලාටත් අනෙක් හැම අම්මා කෙනෙකුටමත් ඇගේ අදහස් වටිනා නිසා theAsianparent Sri Lanka ඇය හමුවී මේ තොරතුරු ගැන කතා කළා.

කියවන්න: “අම්මලාට දරුවෝ ලැබුනහමත් ඉස්සර වගේ ඉන්න පුළුවන්”: මව් පදවිය ගැන සචිනි අයේන්ද්‍රාගේ අදහස්

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය

 

කතන්දර ලිපි