මිලට ගන්න බැරි ගමේ සුන්දරත්වයේ ඉමිහිරි සතුට දරුවන්ට විඳින්න දෙන්න

Share this article with other mums

"අපි නොසිතන බොහෝ තැන්වලත් ඒ සතුට ඇතැයි මට හිතුනේ මගේ දරුවන් නාගරික පරිසරයෙන් මිදිලා ගමට ගියහමයි. නිදහස, සුළඟ, ගස් වැල්, සතා සිවුපාවුන්, ඇළ දොළ ඔවුන්ට ගෙන දෙන්නේ අපූරු වෙනසක් බව ඔවුන්ගේ හැසිරීමෙන් මම අත්දකිනවා."

සතුට ජීවිතයට මිල මුදල් වලින් ලබාගන්න සමහර විට අමාරුයි. සතුට අපි නොසිතන තැන්වල රැඳී තියෙන්නේ ඒ නිසයි. දරුවන්ගේ සතුටත් ඒ වගේමයි. ඔවුන් දහස් ගණන් වටිනා සෙල්ලම් බඩු වලට වඩා ඉවත දමන පෙට්ටියකට, පියනකට, හැන්දකට ඊට වඩා හුඟක් ආදරේ කරනවා අපි සමහර විට කොතෙකුත් දකිනවා. නමුත් ඔවුන්ට සතුට ඇත්තේ එතනයි.

අපි නොසිතන බොහෝ තැන්වලත් ඒ සතුට ඇතැයි මට හිතුනේ මගේ දරුවන් නාගරික පරිසරයෙන් මිදිලා ගමට ගියහමයි. නිදහස, සුළඟ, ගස් වැල්, සතා සිවුපාවුන්, ඇළ දොළ ඔවුන්ට ගෙන දෙන්නේ අපූරු වෙනසක් බව ඔවුන්ගේ හැසිරීමෙන් මම අත්දකිනවා.

ගහකොළ ගැන කියා දෙන්න

පුංචි පැටවු ඉපදුන දා ඉඳන් චලනයන් දිහා බලනවා. ඒවා ගැන පුදුමයට සතුටට පත් වෙනවා. ඒවා සමග කතා කරනවා. ඉන් ඔවුන් ලොකු සතුටක් ලබනවා. ඉතින් ගැමි පරිසරයට ඔවුන් ගියොත් ඔවුන්ට මේ අවස්ථාව නොඅඩුව ලැබෙයි. එහිදී ඔවුන් විවිධ තාලයේ  ගස් කොළන් දකිනවා: උස ගස්, මිටි ගස්, මල් ගස්, වැල්, තණකොළ.

දවසක් ගමේ ගියහම මිදුලේ ඇවිදින කොට මගේ පුංචි පුතා එකපාරටම නැවතුනා. “මේ ගස් පාගන කොට වැහෙනවා. ඇයි අම්මා ඒ?” ඔහු එය නැවත නැවත කරමින් මගෙන් අහනවා. ඒකට අපි කියන්නේ නිදිකුම්බා. දරුවට එය පුදුම විනෝදයක් ගෙන දුන්නා.

ඔහු නිදිකුම්බා ගස් සොයමින් ඒවාට පුංචි තට්ටුවක් දුන්විට ඒවා නින්දට යන හැටි බලලා මහ හඬින් සිනාසුනා. “නිදිකුම්බා කියන්නේ නින්දට හරි කැමතියි කියන එකනේ”. පුතාට ඒක තවත් විනෝදයි. “හරියට සමහර දවසට ඔයා නින්දට ගිහින් ඇහැරවගන්න බැරි උනහමත් අපි ඔයාට නිදිකුම්බා කියනවා”. නින්දට බර අයට කියන්නේ නිදිකුම්බා.

ඉතින් මේ පැළෑටියත් පුංචි තට්ටුවක් දැම්මත් නින්දට යනවා. දරුවා ඉන් අප්‍රමාණ සතුටක් ලැබුවා. සිනාසුනා. එය එක් එක් විලාසයට පරික්ෂා කර බැලුවා. ඒ සතුට මට කවදාවත් සාප්පුවකින් ඔහුට අරගෙන දෙන්න බැරි බව මම හොඳින් දන්නවා. මේ සරල උදාහරණයට තවත් බොහෝ උදාහරණ ඔබටත් එකතු කරන්න පුළුවන් වේවි.

දරුවන්ට ඒ අත්දැකීම් ලබන්න ඉඩදීම නිසා ඔවුන්ගේ සිතීමේ හා පරිකල්පනය කිරීමේ ශක්තිය දියුණු වෙනවා. ඒ නිසා නිතරම ඔවුන්ගේ අදහස් හා දැනුම පුළුල් වෙනවා.

ගමේ නිදහසේ හැදෙන සුරතල් සතුන් ගැන කියාදෙන්න

නගරයේ හැදී වැඩෙන අපේ දරුවන්ට සුරතල් සතුන් ලෙස ඔවුන්ගේ මනසේ ඉන්නේ බල්ලා, පූසා වැනි සීමිත සුරතලුන් පිරිසක් විතරයි. ඒත් ඔවුන් හැදෙන්නෙත් අපි වගේම ප්‍රමාණයෙන් කුඩා කූඩුවක කියලා ඔවුන්ට නොතේරුනාට ගමේ පරිසරය තුළ හැදෙන සුරතලුන් කොයිතරම් නිදහසක් ලබනවද කියලත් ඔවුන් ගමට ගියොත් දැකගන්න පුළුවන්.

මේ අතර එළදෙනුන් හා පැටවුන්, කුකුළන්, එළුවන්, තාරාවන්, කුරුල්ලන්, හාවන් විශේෂයි. ගෙවල් වල හදන කිරි හරකුන් සමහර විට ගම් බිත්තර වෙනුවෙන් ඇතිකරන කුකුළන් නිදහසේ ඇවිදිනවා අපිට දකින්න පුළුවන්. ඔවුන් නිදහසේ කෑම හොයාගෙන ගිහින් අයෙත් හවසට තමන්ගේ ගෙවල් වලට යනවා.

ඔවුන් නිදහසින් උපරිම ප්‍රයෝජන අරගත්තත් එය විනයකින් යුතුව කරන හැටි ඉන් අපේ දරුවන්ට පාඩමක් ලෙස කියාදෙන්න පුළුවන්. ගෙදර ඇතිකරන සුරතල් බල්ලා වුවත් ගමේ ඇවිදලා දවස අවසානයේ නිසි වෙලාවට ගෙදරට එනවා. ඉතින් ඒ විනය දරුවන්ටත් පාඩමක්.

අනෙක් අතට තණකොළ කන එළුවන් පැටවුන් එළදෙන හා වසූ පැටවුන් දරුවන්ට ඉතා සුන්දර දසුන් වෙනවා. ඔවුන් පුංචි කාලේ අම්මගෙන් කිරි බිව්වා වගේ, පැටවු අම්මලාගෙන් කිරි බොන හැටි බලාගෙන ඉන්න පුංචි දරුවන් හරි ආසයි. ඒ වගේම අපි බොන කිරි පිටි හැදෙන්නෙත් මේ එළදෙනගේ කිරි වලින් බවත් ඔවුන්ගේ මළ ඉතා හොඳ කාබණික පොහොරක් බවත් ගවයා කොයිතරම් හීලෑ කළ හැකි අපූරු සතෙකුද යන වගත් ඔවුන්ට කියා දෙන්න පුළුවන්.

මෙතෙක් සත්තු වත්තක සිරවී තිබු සතුන්ගේ ලෝකයේ නිදහස ගැන කියාදෙන්න අපිට මේ ගමන හොඳ පාඩමක්.

ඇළ දොළ, වෙල්යාය මැද්දෙන් පුංචි බෝට්ටු සවාරියක් යන්න තිබුනොත්

නගරයේ නැති මේ සුන්දර බව ගමේදී දැනෙන්නේ පුදුම වෙනසකුත් එක්කයි. දරුවන් විතරක් නෙවෙයි බෝට්ටු පදින්න වැඩිහිටියනුත් හරිම ආසයි. වැවක රවුමක් ගියොත් පරිසරය ගැන දරුවන්ට ඉගෙන ගන්න තියෙන පාඩම් අනන්තයි.

ජලජ ජීවින්, පැළෑටි, වැව් ජලය පිරෙන හැටි, අතීතයේ වැව් හැදුනු හැටි, එහි ජිවත් වන අනෙකුත් මාළුන්, ඉබ්බන්. ඉන්පසුව සතුටින් ඉපිලෙන ඔවුන්ගේ ප්‍රශ්න මාලාව ඔබට අපූරු අත්දැකීමක් දරුවන්ට හිමිකර දෙන්න පුළුවන්.

වැව් දිය ටිකක්, මඩ වතුර ටිකක් දරුවන්ට අල්ලන්න දෙන්න පුළුවන් නම් ඔවුන් හුඟක් සතුටට පත් වෙනවා. එහි ඉන්න තිත්ත පැටව් එහා මෙහා පීනන ඉබි පැටව් ඔවුන්ට අපූරු අත්දැකීමක් ගෙන දේවි. ඒ වගේම වැවක ඉස්මත්තෙන් හැදෙන කුඹුරු යාය වැවෙන් පෝෂණය වෙන හැටි ඔබට සරලව කියා දෙන්නත් පුළුවන්.

අපි කන බත් ලැබෙන හැටි කියාදෙන්න මීට වඩා තවත් අපූරු කතාවක් සිතුවමක් වගේ දිග හරින්න ඔබට තවත් අවස්ථාවක් කොහෙන්ද?

වැවයි දාගැබයි ගමයි පන්සලයි

ඔබ බෞද්ධ වුනත් හින්දු වුනත් කිතුනු වුනත් මුස්ලිම් වුනත්, මේ කරුණු දරුවන්ට ඔබට කියාදෙන්න පුළුවන්. එදා ගම තුළ පන්සල වැවට ගමට ඉහළින් ඉදිවුණා. අදත් ගමට ගියහම ඈතින් උස් ස්ථානයක වෙහෙරක් පේන්න තියෙනවා. එහි ආගමික බේදයක් නැතත් එහි අරුත දරුවන්ට කියා දෙන්න එහි සුන්දරත්වය විඳින්න දෙන්න ඔබට බාදාවක්  නැහැ.

ගමට ඉහළින්ම වෙහෙරත්, ඉන්පසුව ගමත්, ඊටත් පහළින් කුඹුරු යායත්, තිබුණේ ගෞරවය සහ ජීවන උපාය නිවෙසට යා කරමින් ක්‍රමානුකූලව ජීවිතය හැඩගස්වා ගන්නයි. ඉතින් ඒ ගැඹුර දරුවාට සරලව කියාදෙන්න පුළුවන්.

ගොවියා රැකියාව විදිහට කුඹුරට ගියහම ඔවුන් කුඹුරේ වැඩකරන හැටි ඔවුන්ට පෙන්වන්න පුළුවන්. ගොවියා කොයිතරම් වෙහෙසක් දරනවද කියලා ඔවුන්ට එතකොට දැනේවි. අපි සුපිරි වෙළඳසැලෙන් වුනත් ගන්න හැම හාල් ඇටයකම ඇති වටිනාකම ඉන් ඔවුන්ට දැනෙනවා.

ඔබේ දරුවාට තේරුම් ගත හැකි වයස අනුව මේ අත්දැකීම් ඔබට විස්තර කරන්න පුළුවන්. එයා කිරි බොන දරුවෙකු වුනත් මේ හැමදේම මුවින් නොකිවුවත් එයාගේ ඇස් දෙකෙන්, ක්‍රියාවන් වලින් අපරිමිතව විඳින බවත් ඒ සුවය සතුට ඔවුන්ගේ ජීවිතය පුරාවටම දැනෙන බවත් ඒකාන්තයි.

ඒ නිසා ජීවිතයට ඉඩක් අරගෙන ඉඳහිට ගම වටේ රවුමක් ඇවිදලා එන්න යන්න. මේ පණිවිඩය අපි මතක් කළේ theAsianparent  Sri Lanka අපේ දෙමාපියන් වෙනුවෙන්මයි.

Outdoor