දරුවන් එක්ක නිවසේ සිට ඵලදායී ලෙස වැඩ කරන්නේ මෙහෙමයි.

දරුවන් එක්ක නිවසේ සිට ඵලදායී ලෙස වැඩ කරන්නේ මෙහෙමයි.

ඔබේ දරුවන් සමඟ නිවසේ සිට වැඩ කිරීම හිසරදයක් නොවිය යුතුය. මෙම ඉඟි කියවා, සන්සුන්ව වැඩ කරන්න.

නිවසේ සිට වැඩ කිරීම කරන්නේ කොහොමද?මගේ මිතුරියක් දුරකථනයෙන් මා අමතා ඇසුවේ එයයි.  ඔයා ඒක කරන්නේ කොහොමද?”  ඇය ඇසුවා.

ඒත් එක්කම ඇය ඇයගේ දරුවන්ට කෑගසන හඩත් සමග මට පසුබිමින් පුංචි දගකාරයන්ගේ ඝොෂාවත් අහන්න ලැබුනා.

මෙම අවුල් සහගත තත්වයට වගකිව යුත්තෝ වුයේ ඇයගේ වයස 7 ක් හා 9 ක් වු දරුවන් දෙදෙනායි.

COVID-19 වසංගතය නිසා ලෝකයම නවතා දමා අවසන්. එහි ප්‍රතිඵලය වුයේ මිනිසුන්ට තම නිවෙස්වල තම පවුල් සමඟ කොටු වී සිටීමට සිදුවීමයි. 

සමාජ දුරස්ථභාවය, ස්වයං නිරෝධායනය සහ නිවසේ සිට වැඩ කිරීම වැනි අලුත් දේවල් බොහොමයක් ඔවුන් අද අත්දකිනවා.

වෛරසය පැතිරීම අඩාල කිරීම සඳහාත් ආර්ථිකයන් සහ ව්‍යාපාර අඛණ්ඩව පවත්වා ගැනීමටත් මේ දේවල්  දැන සිටීම හා අවබෝධ කරගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.

නමුත් බොහෝ දෙනෙකුට, දරුවන් සමඟ නිවසේ සිට වැඩ කරන්නේ කෙසේද යන්න පැවසීමත් අභියෝගයක් වෙලා.

ඔබේ පෙර පාසල් දරුවා නගන ශබ්ද එක්ක රාජකාරී ඇමතුමකට පිළිතුරු දීම, උදෑසන ආහාරය ඉල්ලා කෑගසන දරුවන් සමග රාජකාරී  වීඩියෝ ඇමතුම් පවත්වා ගැනීම වැනි දේවල් හිතාගන්නවත් බැහැ නේද? 

ඒ වගේම සෑම පැය දෙකකට වරක් ඔබේ දරුවා ආහාර ඉල්ලන විට, අත්‍යාවශ්‍ය රාජකාරී හදිසි වාර්තාව කෙරෙහි ඔබ අවධානය යොමු කීරීම හීනයක් පමණයි නේද?

මේ මම වගේම ගෙදර ඉදන් වැඩ කරන මව්වරුන් මුහුණ දෙන ගැටළු කිහිපයක් පමණයි.

මම මගේ මානසික ආතතියට පත් ඉහත මිතුරියට නිවසේ සිට වැඩ කිරීම ගැන ලබා දුන් ප්‍රයෝජනවත් උපදෙස් කිහිපයක් ඔබටත් ඉදිපත් කරනවා.

එය නිසැකවම ඔබටත් නිවසේ සිට ඵලදායී ලෙස වැඩ කිරීමට උපකාරී වේවි. විශේෂයෙන් ඔබේ දරුවන් ද ඔබ සමඟ සිටි නම් මේ උප‌දෙස් ඔබට වැදගත් වේවි.

දරුවන් එක්ක නිවසේ සිට ඵලදායී ලෙස වැඩ කරන්නේ මෙහෙමයි.

දරුවන් සමග නිවසේ සිට වැඩ කිරීම කල හැකි මග

 

1.වර්තමානයේ මුහුණ දී ඇති තත්වය පැහැදිලි කරන්න

COVID-19 ගැන ඔබේ දරුවන්ට සම්පූර්ණ දේශනයක් ලබා දිය යුතු යැයි මම කියන්නේ නැහැ.

නමුත් ඔවුන්ගේ වයස සහ තේරුම් ගැනීමේ මට්ටමට අනුව ඔබට හැකි උපරිමයෙන් මෙය පැහැදිලි කරන්න.

එවිට ඔබේ දරුවන්ට ඔවුන්ගේ නිදහස සීමා වීමට හේතුව  වඩා හොඳින් අවබෝධ වේවි. ඒ විතරක් නොව ප්‍රජා වගකීම පිළිබඳ හැඟීමක් ඔවුන් තුල ඇතිවෙනු ඇත.

“ලෝකය බේරා ගැනීම සඳහා, අපි සියලු දෙනාම එකට නිවසේ සිටිය යුතුය, එවිට නපුරු COVID 19  විෂබීජයට පැතිර යන්න බැරි වෙනවා” කියන සංකල්පය ඔවුන්ගේ පුංචි මොළයට ඇතුල් කර බලන්න.

2.ඔබේ දරුවාට චර්යාවක් සකස් කරන්න

ඔබේ දරුවන් සඳහා කාලසටහනක් හෝ චර්යාවක් සකස් කිරීමේ වැදගත්කම මට අවධාරණය කරන්න බැහැ.

නමුත් පාසල් දිනවල මෙන් අවදි වීමට නිතිපතා වේලාසන වේලාවක් වෙන් කරන්න. ඔබේ දරුවන්ට සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් ලබා දී ඔවුන්න්ගේ ඇගපත සෝදා ඇදුම් අන්දවන්න.

මෙම කාර්යයන් ඔබ වැඩ ආරම්භ කිරීමට පෙර කළ යුතු අතර ඔබේ දරුවන් කෙරෙහි ඔබේ පූර්ණ අවධානය යොමු කල යුතුය.

ඊළඟට පැමිණෙන්නේ “රාජකාරි ”  කිරීමේ වේලාවයි. ඔබ උදේ 9 ට වැඩ ආරම්භ කරනවා යැයි සිතමු. ඒ වේලාවේ සිට  ඔබේ දරුවන්ට දවස පුරා කිරීමට කාර්යයන් සකස් කරන්න.

 පෙර පාසැල් සිසුවෙකු සඳහා වැඩ කළ හැකි උදාහරණ මෙන්න:

  • පෙ.ව .9-10: චිත්‍ර හා අත්වැඩ, ක්ලේ සෙල්ලම්
  • පෙ.ව. 10-11: මනංකල්පිත රගපෑම් (ඇඳුම් ඇඳීම, චරිත නිරූපණය)
  • පෙ.ව. 11 - 12දහවල්: ලෙගෝ සහ ප්‍රහේලිකා විසදන වේලාව
  • දහවල් 12-1: දහවල් ආහාර වේලාව
  • ප.ව. 1-2: වැලි සෙල්ලම්, පාට කිරීම හෝ පින්තාරු කිරීම
  • ප.ව. 2-3: විවේක කාලය (ඔබේ දරුවා තවමත් නින්දට යන්නේ නම්)
  • ප.ව. 4-5.30: ප්‍රියතම චිත්‍රපටය බැලීම 

එතකොට ටිකක් ලොකු ළමයින්ට මොකද කරන්නේ ?

වෛරසය පැතිරීමේ අවදානම නිසා ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා පාසල් බොහොමයක්  එකවරම වසා දමනු ලැබුවා.

සමහර පාසැල් බොහොමයක් සිසුන්ට අධ්‍යයන ඇසුරුම් ලබා දී හෝ අන්තර්ජාලය මගින් පන්ති පවත්වනු ලබනවා.

ඔබට නොමිලේ පාඩම් සහ ඉගෙනුම් ක්‍රීඩා ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්. 

මෙවන් සම්පත් අත ළඟ තිබියදී, ලොකු, පාසල් වියේ පසුවන ළමයින් කාර්ය බහුල කර තබා ගැනීම පහසුයි.

ඔවුන් පාසැලේදී අනුගමනය කරන දේට සමාන කාලසටහනක් සකස් කරන්න.

ඔවුන්ට වැඩ කිරීමට පහසු ඉඩක් දෙන්න වගේම නිතර ඇති වෙන පුංචි බඩගින්නට අවශ්‍ය කෙටි කෑම සකස් කර තබන්න අමතක කරන්න එපා.

ඔබ අසලින්ම තබා ගන්න පුළුවන් හොදයි.

නොමිලේ ලබා ගත හැකි විනෝදජනක ඉගෙනුම් මුලාශ්‍ර පිළිබඳ විශිෂ්ට ලැයිස්තුවක් මෙන්න:

අන්තර්ජාලයේ ඇති මෙවන් මුලාශ්‍ර:

- සෙනහස තොටිල්ල -  අත් වැඩ සදහා

-තක්සලාව - පාසැල් දරුවන්ගේ විෂය නිර්දේශ

- Curiosity Stream

- Tynker

- Outschool.com

- Beast Academy (ගණිතය සදහා)

- KhanAcademy.org

- CreativeBug.com

- DiscoveryEducation.com

යු ටියුබ් නාලිකා

- Crash Course Kids

- Science Channel

- SciShow Kids

- National Geographic Kids

- Geography Focus

- TheBrainScoop

- SciShow

- Kids Learning Tube

- Geeek Gurl Diaries

- Mike Likes Science

ඒ වගේම 

  • Scholastic නම් වෙබ් අඩවිය දින 20කට වැඩි කාලයක් සදහා ඉගෙනුම් හා ක්‍රියාකාරකම් නොමිලේ ලබා ගන්න පුළුවන්.
  • ඔබගේ දරුවාට ලොව වටා කෞතුකාගාර 12 කට යන මනංකල්පිත චාරිකාවක් යන අයුරු රග දක්වන්න පුළුවන්.

දරුවන් එක්ක නිවසේ සිට ඵලදායී ලෙස වැඩ කරන්නේ මෙහෙමයි.

 

3.වැඩ බෙදාගෙන පහසු කර ගන්න

බොහෝ විට ඔබේ සහකරු ළමයින් සමඟ ඔබ සමඟ නිවසේ ඇති නේද?

  එක්ව සහයෝගයෙන් වැඩ කිරීමෙන් ඔබගේ ක්‍රියා පිළිවෙත් දෙකම හැකි තරම් සුමටව  සිදු කරගන්න.

නිදසුනක් වශයෙන්, ඔබගෙන් අනෙකට වඩා මඳක් පසු වී වැඩ ආරම්භ කළ හැකි නම්, එම පුද්ගලයාට නැවුම් වාතය සහ ව්‍යායාම ළමයින්ට ලබා දීමට ඔවුන්ව  පිටතට ගෙන යන්න පුළුවන්. (මාස්ක් පළදින්න. සමාජ දුරස්ථභාවය පුහුණු වන්න)

මෙය අනෙක් පුද්ගලයාට වැදගත් කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීමට යම් නිහඩ කාලයක් ලබා දෙනු ඇත.

ඔබද එලෙස අනෙකාට අනුග්‍රහය ලබා දීමට  බවට වග බලා ගන්න (එය කෙටි විවේකයක් ගැනීමට හොඳ ක්‍රමයක්).

ඒ හා සමානව, ඔබගෙන් කෙනෙකුට වැදගත් ඇමතුමක් ගැනීමට හෝ වීඩියෝ සම්මන්ත්‍රණයකට සම්බන්ධ වීමට සිදුවුවහොත්, අනෙකාට එම කාලය තුළ ළමයින් සමග කටයුතු කරන්න පුළුවන්.

4. නිවසේ සිට වැඩ කිරීම සදහා ඔබ වෙනුවෙන් චර්යාවක් සකස් කරගන්න

මෙය ඔබේ දරුවා වෙනුවෙන් චර්යයාවක් ඇති කිරීම තරම්ම වැදගත් වෙනවා. බොහෝ අය හිතනවා වගේ නිවසේ සිට වැඩ කිරීම පහසු නැහැ.

කාර්යාලයකට වඩා නිවසේ සිට ඵලදායී ලෙස වැඩ කිරීම දුෂ්කරයි. නිවසේ සිට වැඩ කිරීම සඳහා ස්වයං විනයක් සහ අවධානයක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම එය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන දෙය නම් ඔබ වෙනුවෙන් චර්යාවක් ඇති කර ගැනීමයි.

ඔබේ දවස කලින්ම ආරම්භ කරන්න. ළමයින්ට පෙර අවදි වන්න. උදේ ආහාරය ගන්න. හැකි නම් ව්‍යායාම කරන්න. ඇග පත සෝදා ඇදුම් මාරු කරන්න.

ඔබේ දරුවන්ගේ කාර්යයන්, ක්‍රියාකාරකම් සහ දවසේ චර්යාවන් නිසි පරිදි ක්‍රියාත්මක වන බවට වග බලා ගන්න.

ළමයින් අවදි වීමට පෙර ඵලදායී වැඩ කරන වේලාවක යන්තමින් ලබා ගන්න ඔබට සමහර විට පුළුවන් වේවි.

එය ඊමේල් වලට පිළිතුරු දීම හෝ ඒවා  යැවීම සදහා යොදා ගන්න කාලය වෙන්න පුළුවන්.

ගෙදර දොරේ වැඩ(ඔබට හැකි පමණින් කරන්න)  ඔබ නිවසේ සිට වැඩ කරන වේලාවට එකතු නොකිරීම වැදගත් ය.

ඔබ වැඩට වාඩි වීමට පෙර හෝ සවස් වරුවේ සති අන්තයේ එම කටයුතු කරන්න.

ඇත්ත වශයෙන්ම, දිවා ආහාරය පිළියෙළ කිරීම, පසුව පිරිසිදු කිරීම හෝ ඔබේ දරුවා පෝෂණය කිරීම වැනි ඔබට වළක්වා ගත නොහැකි වැඩ තියෙනවා.

ගෙදර දොරේ වැඩ කටයුතු කිරීමට තරම් ඔබේ දරුවන් වයසින් වැඩි ඇත්නම පිඟන් කෝප්ප සේදීම සහ ඇසිරීම වැනි කාර්යයන් ඔබට ඔවුන්ට පවරන්න පුළුවන්.

5.නිවසේ සිට වැඩ කිරීම සදහා ඔබට වැඩ කරන්න තැනක් සුදානම් කරගන්න

ඵලදායීව වැඩ කටයුතු වල නිරත වීමට හිතකර ඉඩක් ඔබගේ නිවසේ තිබීම ඉතා වැදගත්වෙනවා.

ඔබට වෙනම ස්ථානයක් ඒ සදහා නොමැති නම්, විසිත්ත කාමරයේ හෝ කෑම කාමරයේ හෝ නිදන කාමරයේ ඉඩක් සකස් කරගන්න.

මෙම ස්ථානය පිරිසිදුව හා ලස්සනට තබා ගන්න. ඔබට හෙඩ්සෙට් එකක් සහ හොඳ වයි-ෆයි සම්බන්ධතාවයක් ඇති බවට සහතික වන්න.

ඔබේ සගයන් සමඟ සම්බන්ධව සිටීමත් ඔබගේ සේවා කාලය තුළදී  ඔබව සම්බන්ධ කර ගත හැකි වීමත් වැදගත් වෙනවා.

ඔබට දුරකථන ඇමතුම් ගැනීමට හෝ වීඩියෝ සම්මන්ත්‍රණ / ඇමතුම් වලට සම්බන්ධ වීමට අවශ්‍ය වූ විට ඔබට භාවිතා කිරිමට අගුලු දැමිය හැකි කාමරයක් සකස් කරගන්න.

නැවතත්, “බීබීසී තාත්තා” මතක් කරන්න. ඔව්, අගුලු දැමිය හැකි දොරක් අත්‍යවශ්‍ය වන්නේ ඒනිසයි

කෙසේ වෙතත්, ඔබට කාමරයක සිරවී සිටීමට නොහැකි නම්, ඔබ නිවසේ සිට ළමයින් සමඟ වැඩ කරන බවට ඔබේ සගයන්ට පළමුව දැනුම් දෙන්න.

ඔබ ලග සිටීම සුදුසු විට මාපට ඇඟිල්ල ඉස්සීම හෝ ඔහු ඔබට කරදර නොකළ යුතු විට මාපට ඇඟිල්ල පහල දැමීම  වැනි සලකුණක් භාවිතා කිරීම ඔබට කරන්න පුළුවන්.

 6.නිවසේ සිට වැඩ කිරීම සදහා ඔබ සහ ඔබේ දරුවන් සඳහා සීමාවන් සකසන්න

පුද්ගලිකව, මම රාත්‍රීයේ අවදිව සිටින අතර ළමයින් නින්දට ගිය පසු මගේ වඩාත් නිර්මාණාත්මක වැඩ කටයුතු කරගෙන යාමට කැමතියි.

මම ලිවීමට රෑ වෙනකම්  නැගිටිනවා නම්, මම මේ වේලාව දිවා කාලයේදී සමබර කර ගැනීමට වග බලා ගන්නවා.

සෑම දිනකම නිශ්චිත වේලාවක ඔබේ ලැප්ටොප් එක වසා දමා ඔබගේ දුරකථන දැනුම්දීම් අක්‍රිය කිරීමට වග බලා ගන්න. 

ඒ තුලින් ඔබගේ දිනය නිමක් නැති වැඩ දිනයක් බවට පත් නොවන පරිදි සකස් කරගන්න.

දවල් දවස පුරා හා රාත්‍රියේ වැඩ කරමින් ඔබව වෙහෙසට පත්වීම නිවසේ සිට වැඩ කිරීමේදී ඉතා පහසුවෙන් සිදුවෙනවා.

ඒ අතරම, ඔබ වැඩ කරන විට ඔබේ දරුවන් සමඟ යම් සීමාවන් පැනවීමද වැදගත් වෙනවා.

ඔබ නිවසේ සිටියද, ඔබ වැඩ කරන්නේ කෙසේද යන්න පිළිබඳ සරල පැහැදිලි කිරීමක් තේරුම් ගෙන ගරු කිරීම වැඩිහිටි දරුවෙකු  කළ යුතුය.

7.සංවිධානාත්මක වන්න

ඔබේ දරුවාගේ දිනයට අවශ්‍ය දේවල් සහ ක්‍රියාකාරකම් කල්තියා සූදානම් කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්. 

එවිට ඔබ වැඩ කරන අතරතුර ඔහු හෝ ඇය යම් කටයුත්තක නිරතව තබා ගන්න පුළුවන්.

මෙය කිරීමට උදෑසන වන තෙක් බලා නොසිට සති අන්තයේදී ඉදිරි සතිය සඳහා සැලසුම් කිරීමට උත්සාහ කරන්න.

අවම වශයෙන්, පෙර දින සවස හෝ දහවල් ඉදිරි දිනයට අවශ්‍ය දේවල් සංවිධානය වන්න.

8.යථාර්ථවාදී වන්න සහ “එයට ඉඩ දෙන්න”

 

ඔබේ සහ ඔබේ දරුවන්ගේ චර්යාවන් පිළිබඳව යථාර්ථවාදී වන්න. ඒවා දැඩි ලෙස සකස් නොකර නම්‍යශීලී කරන්න.

විශේෂයෙන් මෙය ඔබගේ පවුලට නව අත්දැකීමක් නම් එසේ කිරීම සුදුසු වෙනවා.

ඔබේ දරුවා  ප්‍රහේලිකා සහ තීන්ත ඉවත දමා ඔබ සමඟ සිටීමට අවශ්‍ය යැයි කියන දවස් තියෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ.

ඔබේ දරුවා වෙනුවෙන් එහි සිටින්න. නිවසේ සිට වැඩ කිරීමේ හොදම දෙය නම් ඔබේ දරුවා සන්සුන් වූ පසු ඔබට පසුව ඔබේ වැඩකටයුතු සිදු කරගන්න හැකි වීමයි.

සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කිරීම ගැන ඔබ වෙනදා තරම් දැඩි නොවුනාට කමක් නැහැ.

ඔබට සැබවින්ම හදිසි වැඩක් කිරීමට අවශ්‍ය නම් සහ බබාට සුදුසු වැඩසටහනක් නැරඹීමට ඉඩ සලසා දී නිහඩ කරන්න පුළුවන් .

දෙමව්පියනි, COVID-19 මුළු ලෝකයම කම්පනයට හා බියට පත් කර ඇති මොහොතක, ඍණාත්මක දේවල පමණක් දැකීම පසෙකලා ධනාත්මක වීමට උත්සහ කරන්න. 

ගෝලීය වශයෙන්, දූෂණය අඩුය. එයින් අදහස් වන්නේ ඔබේ පවුලට නැවත නිදහසේ පිටතට යා හැකි විට, ඔබ හුස්ම ගන්නා වාතය පිරිසිදුව පවතින බවයි.

මූලික මහජන සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ පාඩමක් ද ලෝකය ඉගෙන ගත්තා.

අත් සේදීමේ වැදගත්කම සහ එය අපගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේද යන්න දැන් අපි කවුරුත් දැනුවත්.

නමුත් සමහර විට මෙම හදිසි ආපදා තත්වයේ  වඩාත්ම ධනාත්මක ප්‍රතිඵලය වනුයේ අමුතු ආකාරයකින් පවුලේ අයට එකට කාලය ගත කිරීමට බල කිරීමයි. 

මෙන්න මේ කරුණ ඔබ මතකයේ තබා ගන්නේ නම් ළමයින් සමඟ නිවසේ සිට වැඩ කිරීම එතරම් කරදරකාරී  විය යුතු නැහැ.

ඔබ වැඩ කරන විට, ඔබේ පුංචි දරුවා දෙස බලා ඇය කොතරම් සතුටින්ද හෝ ඇය ඔබව මෙතරම් සමීප කරවීම ගැන සතුටු වෙන්න.

ඔබට නැවත කාර්යාලයට යාමට සිදු වු විට එය ඔබට මග හැරේවි. 

ඔබ දන්නා දරුවන් සදහා අධ්‍යාපන වැඩසටහන් සහිත ‌වෙබ් පිටු ඇත්නම් අප හා ‌බෙදාගන්න.

ලෝකය තුල කොරෝනා ව්‍යාප්තියේ  වර්තමාන තත්වය දැනුවත් වීමට  www.worldometers.info වෙත මෙතැනින් පිවිසෙන්න.

theAsianparent හි අනුමැතිය ඇතිව පරිවර්තනය කර ප්‍රකාශිතයි.

පරිවර්තනය: නදීශා ලක්මිණි

*theAsianparent Sri Lanka හි පල කරනු ලබන ලිපි ජාත්‍යන්තර ප්‍රකාශන හිමිකම් නීති මගින් ආරක්ෂා කර ඇත. ඔබ මෙම ලිපිය theAsianparent Sri Lanka හි අවසරයකින් තොරව පිටපත් කිරීම හෝ භාවිතා කිරීම කරන්නේ නම් ඔබට එරෙහිව මෙම නීති යටතේ නඩු පැවරිය හැකිය.

කතන්දර ලිපි